නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන

 ඡායාරූපය:

නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව අද අවසන් පූර්ව සටනට බංග්ලාදේශ පිල ශ්‍රී ලංකාවට

ආසියාවේ නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරගාවලියේ මූලික වටයේ දී ඒ කාණ්ඩයෙන් සහ බී කාණ්ඩයෙන් පෙරමුණ ගෙන සිටින ඉන්දියාව සහ පාකිස්තානය අද කොළඹ සී.සී.සී. පිටියේදී එකිනෙකා හමුවීමට නියමිතය. ඒ සඳහා සහභාගිවන කණ්ඩායම් පෙරේදා වනවිට දිවයිනට ළඟාවී තිබිණි.

එම මූලික තරගවලදී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානවලට හිමිකම් කීමට සමත්වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වෙනු ඇත. එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. ඒ වෙනුවෙන් සහභාගිවන බංග්ලාදේශ කණ්ඩායම පෙරේදා රාත්‍රියේ දිවයිනට ළඟාවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම, ඕමානයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර ඉන්දියාව හමුවේ පමණක් පරාජයට පත්විය. මේ අතර ශ්‍රී ලංකා නැගී එන පිල මෙහයවීමේ වගකීම ෂම්මු අශාන්ට පිරිනමා ඇත්තේ නිත්‍ය නායක වරිත් අසලංක දණ හිසේ ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම හේතුවෙනි. දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේද කණ්ඩායමෙන් ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ඊට හේතුවී ඇත්තේ ඔහුගේ උරහිසේ ඇතිවූ ආබාධයකි. ඒ අනුව ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංග කණ්ඩායමට එක්කිරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත.

‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ පාකිස්තානය සහ බංග්ලාදේශය තරග 2 බැගින් ජයග්‍රහණය කරමින් සම ලකුණු ලබාගත් අතර දළ ලකුණු වේගය අනුව පාකිස්තානය එහි පෙරමුණ ගනු ලැබිණි. ඇෆ්ගනිස්තාන, ඕමාන, එක්සත් අරාබි එමීර් සහ හො හොං කණ්ඩායම් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්විය.

කෙසේනමුත් තරග පැවැති පාකිස්තානයේ කරච්චි තණතීරුව සම්බන්ධයෙන් තම කණ්ඩායම සෑහීමකට පත්නොවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රකාශ කරයි. මූලික වටය යටතේ තම කණ්ඩායම හොංකොං රාජ්‍යය සමඟ සහභාගිවූ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමෙන් තොරව අතහැර දැමූ බව පෙන්වා දෙන ඔවුහු එම තරගය අහිමි කළේ තණතීරු ආවරණ අක්‍රමවත් වීම හේතුවෙන් බවද පෙන්වා දෙයි.

‘අපි පන්දුවාර 31 ක් යවලා ලකුණු 87 කට කඩුලු 4 ක් දවාගෙන තිබුණා. එවිටයි වර්ෂාව කඩාවැටුණේ. මේ වර්ෂාවෙන් තණතීරුව ආවරණය කරන්න ගත්තු උත්සහය වතුර කාන්දුවීමෙන් නිෂ්ඵල වුණා. තණතීරුවට පොඟපු ජලය වියලන්න ඔවුන් කොතෙක් උත්සුක වුණත් පැය ගණනක් ගියත් එය සාර්ථක වුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වුණේ තරගය අතහැර දමන එකයි. තරග පැවැති කරච්චි ක්‍රීඩාංගණය මෑත කාලයේ පළමු පෙළ ක්‍රිකට් තරග නොපැවැත්වෙන එකක්. පුහුණු තරග, කාන්තා තරග හෝ ක්‍රිකට් සැණකෙළි තරග පැවැත්වීමටයි මෙම ක්‍රීඩාංගණය යොදාගැනෙන්නේ. අපි ඒ තරගය දිනුවනම් අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරන්නෙ අපියි. ඒකෙ වේදනාව තරග සංවිධායකයන්ට තේරෙන්නෙ නෑ’ යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් නායක රොහාන් මුස්තාෆා චෝදනා මුඛයෙන් පවසා තිබිණි.

මාතෘකා