අයි.සී.සී. නවතම ශ්‍රේණි සටහනේ යළි ශ්‍රී ලංකාවට හයවැනි තැන

 ඡායාරූපය:

අයි.සී.සී. නවතම ශ්‍රේණි සටහනේ යළි ශ්‍රී ලංකාවට හයවැනි තැන

පිතිකරුවන් අතර කෝලිට පිටුපසින් කේන් විලියම්සන් ඉදිරියට

අයි.සී.සී. නවතම ශ්‍රේණි සටහනට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර ඉන්දියාවට පිටුපසින් දෙවැනි තැනට පත්වීමට එංගලන්තය සමත්ව ඇත. ඉන්දියාවට වඩා ප්‍රසාද ලකුණු 8 ක් පිටුපසින් රැඳෙමින් එංගලන්තය ලකුණු 108 කට හිමිකම් කියද්දී තෙවැනි තැන දකුණු අප්‍රිකාවටත්, සිව්වැනි තැන නවසීලන්තයටත් හිමිවී තිබේ. පස්වැනි තැන ඔස්ට්‍රේලියාව හිමිකරගනිද්දී යළි පාකිස්තානය පසුබැසීම හේතුවෙන් ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයට පත්ව ඇතැයි අයි.සී.සී. ශ්‍රේණි සටහන පෙන්වා දෙයි. පිළිවෙලින් පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් මෙම ශ්‍රේණි ගත කිරීම්හි හත, අට, නවය සහ දහය ස්ථානවලට හිමිකම ප්‍රකාශ කර තිබේ.

ටෙස්ට් පිතිකරුවන් අතර ස්ටීව් ස්මිත් තෙවැනි තැනට පත්කරමින් එහි පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙලින් විරාත් කෝලි සහ කේන් විලියම්සන්ට හිමිව ඇත. ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් චෙතෙෂ්වර් පුජාරා එම සටහනේ තවත් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් සිව්වැනි ස්ථානයට පත්ව තිබීමද විශේෂිතය. එංගලන්තයේ ජෝ රූට් එක් පියවරක් පසුපසට ගොස් ඇති අතර ඔහුට හිමිව ඇත්තේ ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයයි. දිමුත් කරුණාරත්න හත්වැනියා ලෙස එම ශ්‍රේණිගත කිරීම්හි තවමත් රැඳී සිටී. මේ අතර පියවර විසිහතරක් ඉදිරියට පැමිණෙමින් නවසීලන්තයේ හෙන්රි නිකොලොස් නවවැනියාවද්දී පියවර පහක් පෙර ආ ෂාර් අලී එහි දසවැනියා බවට පත්ව ඇත. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පියවර තුනක් පසුබැස ඇත්තේ එහි 12 වැනියා බවට පත්වෙමිනි.

ටෙස්ට් පන්දුයවන්නන් අතර පළමු තැන ජේම්ස් ඇන්ඩර්සන්ට අහිමි කරමින් කගිසෝ රබාඩා අත්පත් කරගනිද්දී ඇන්ඩර්සන් දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් එහි තෙවැනියා බවට පත්ව ඇත්තේ එක් පියවරක් ඉදිරියට තබමිනි. පියවරක් පසුපසට තැබීම හේතුවෙන් පාකිස්තානයේ මොහොමඩ් අබ්බාස්ට සිව්වැනි තැන හිමිව ඇත. පස්වැනි ස්ථානයේ රැඳී සිටින රවීන්ද්‍ර ජඩේජාට තර්ජනයක් වෙමින් රවිචන්ද්‍ර අෂ්වින් පියවර තුනක් ඉදිරියට පැමිණ ඇත්තේ එහි හයවැනියා බවට පත්වෙමිනි. හත්වැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ටත් පියවර 2 ක් පසුපසට ගිය නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් 8 වැන්නා බවටත් පත්ව තිබේ. පාකිස්තානයේ යසීර් ෂා පියවර 13 ක් පෙරට තබමින් ශ්‍රේණි සටහනේ 9 වැනියා බවට පත්ව ඇති අතර ජේසන් හෝල්ඩර් තම ස්ථාන වන 10 වැනි තැන තවදුරටත් රැකගැනීමට සමත්ව ඇත.

මාතෘකා