ආදරය වෙනුවෙන් දෛවයට අභියෝග කළ හොකී ක්‍රීඩකයාගේ ආගමනය

 ඡායාරූපය:

ආදරය වෙනුවෙන් දෛවයට අභියෝග කළ හොකී ක්‍රීඩකයාගේ ආගමනය

“දැන් අපිට ස්විස්ටර්ලන්ඩ් යන්න බැහැ නේද. ඒත් අපි ෂිම්ලා හරි යන්. ඔයා මගේ ළඟ ඉන්නවා නම් ඒ ඇති. ඩොක්ටර්ලා කියනවා නැවත මගේ කකුල්වල පණ ලබා ගන්න පුළුවන් කියලා. නමුත් හොකී සෙල්ලම් කරන එක නම් හීනයක් කියලා තමයි කියන්නේ. ඒකට කමක් නැහැ. මම හොකී සෙල්ලම් කළේ ඔයා වෙනුවෙන් විතරයි. ඉරණම ලියවිලා තියෙන්නේ ජීවිත කාලයේම රෝද පුටුවක ඉන්න නම්, ඒක මම සතුටින් බාර ගන්නවා. මොකද ඔයා මගේ ළඟ දැන් ඉන්න නිසා.”

මේ සංදීප් සිං

”මම හිතුවේ මම ඉන්දියාවේ හොකී ක්‍රීඩකයෙක් හම්බවෙන්න යනවා කියලා. නමුත් මට හමුවුණේ හැම දෙයක්ම අමතක කරපු එක පිරිමි ළමයෙක් විතරයි. ඔහු හැමදාම වගේ මාව දැකලා සන්තෝස වුණා. සංදීප් ජීවිත කාලෙම වුණත් රෝද පුටුවක් තියාගෙන බලාගන්න මට පුළුවන්. මම ඒක සතුටින් කරනවා. ඒත් මම ඊට වඩා සතුටු වෙනවා එයා නැවතත් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා නම්. ඒත් මම ළඟ හිටියොත් එයා ඒක කරන එකක් නැහැ. එයා මෙතෙක් කරපු හැම දෙයක්ම කළේ මං වෙනුවෙන්. කාටවත් බැහැ කෙටි කාලයකින් අතිදක්ෂ හොකී ක්‍රීඩකයෙක් වෙන්න. ඒත් එයා මං වෙනුවෙන් ඒ දේත් කළා. ඒත් එයාට දැන් මාව ලැබුණොත් එයා නැවත කකුල් දෙකෙන් හිටගන්න එකක් නැහැ. නැවතත් පුරාවෘත්තයක් වුණ ෆ්ලිකර් සිං බලා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ මට එයාව දාලා යන්න වෙනවා. මට විශ්වාසයි එයා නැවතත් කකුල් දෙකෙන් නැගිටලා හොකී පිත්තක් අරන් මාව බලන්න ඒවි කියලා.”

ඒ හර්ප්‍රීත් කෞරෝ

ආදරය සහ බලාපොරොත්තු කියන්නේ මිනිසෙක්ව පවතින තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දෙයක් කිව්වොත් නිවැරදියි. සමහර අවස්ථාවලදී ආදරය වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක් නැහැ. මරණයට පවා අභියෝග කරන්න තරම් ආදරය මිනිසුන්ව නිර්භීත කරනවා. සමහර අවස්ථාවලදී එවැනි දේ නිසා ලෝක ප්‍රසිද්ධ වූ චරිත අනන්තවත් ඇති.

කතාව මේ ආකාරයෙන් පටන් ගැනීමට මූලික ප්‍රස්තුතය වූයේ ආදරය වෙනුවෙන් මරණයට සහ දෛවයට පවා අභියෝග කළ මිනිසකු සම්බන්ධ කතා පුවතක් දිගහැරීමට. තමන් ආදරය කරන තරුණිය වෙනුවෙන් ජීවිතයේ කැප කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම කර අවසානයේ ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූ පුද්ගලයකු සම්බන්ධයෙන් නිර්මාණය වූ සිනමා පටයක් තමයි ”සූර්මා” කියන්නේ.

චරිතප්‍රදානයක් ලෙසින් නිර්මාණය වූ මෙම කතා පුවත පසුගිය ජූලි 13 වැනිදා සිනමා පටයක් ලෙසින් රිදී තිරය වර්ණවත් කළේ. තමන් ආදරය කරන තරුණිය වෙනුවෙන්, ඇගේ ආදරය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික හොකී කණ්ඩායමේ නැතුවම බැරි චරිතයක් (සෙන්ටර් ෆෝවර්ඩ්) බවට පත්වීමත් මරණය පෙනි පෙනී දෛවයට අභියෝග කරමින් ජාත්‍යන්තර මට්ටමේ තරග ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමටත් හැකියාව ලැබූ මොහු නමින් සංදීප් සිං. ඉන්දීය ජාතික හොකී කණ්ඩායමේ හිටපු නායකයා වූ සංදීප් සිං සිය දෛවයටත් කර්මයටත් කිසිදු අවස්ථාවක පරාජය නොවූ තැනැත්තෙකු ලෙස හැඳින්විය හැකිය.

සූර්මා සිනමා පටයේ මූලික ප්‍රස්තුතය බවට පත් වන්නේ සංදීප් සිං 2009 වසරේ පැවැති සුල්තාන් අස්ලම් ෂා තරගාවලියේ ඉන්දීය හොකී නාමය රන් අකුරින් ලිවීමට සමත්වූ පුද්ගලයා ලෙසින් සහ 2012 වර්ෂයේ ලන්ඩන්හි පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ඉන්දියාව නියෝජනය කළ කණ්ඩායම මෙහෙයවූ පුද්ගලයා ලෙසින් සිදුකළ මෙහෙය ගෙනහැර දැක්වීමයි. එතෙක් ආ ගමන් මඟ තුළ ඔහු විසින් මුහුණ දුන් අභියෝග මෙන්ම සුන්දර ආදර කතාවක්ද මේ තුළින් විදහා දැක්වෙනවා.

මෙහි කතා සංක්ෂිප්තය මෙසේය.

”හරියානා ප්‍රාන්තයේ කුඩා ළමුන් පිරිසක් හොකී ක්‍රීඩා කරන දර්ශනයකින් සිනමා පටය ආරම්භ වේ. නපුරු, එමෙන්ම ඉන්දියාවට කෙසේ හෝ හොකීවලින් රන් පදක්කමක් ලබා දීමට හැකි ක්‍රීඩකයකු බිහි කිරීමේ අධිෂ්ඨානයෙන් වැඩ කරන පුහුණුකරුවකු ළඟ කුඩා සංදීප් සිං හොකී පුහුණුව ලබයි. නමුත් සුළු වැරැද්දටත් දැඩි දඩුවම් කරන නිසා කුඩා කාලයේම සංදීප් සිං හොකී ක්‍රීඩාවට සමුදෙයි. හොකී ක්‍රීඩා නොකරන නිසා විවේක කාලයේ ඔවුන්ගේ කුඹුරේ කුරුල්ලන් එළවීම එනම්, සකලයන් ඇඹීම සඳහා සංදීප් යන අතර එහිදී ඔහු අපූරු උපක්‍රමයක් යොදා ගනී. එනම් හොකී පිත්තක් ගෙන කුඹුර මැද ඉදිකළ අට්ටාලයකට නැඟ ගසකින් කඩාගත් ගෙඩි වර්ගයක් උපයොගී කරගෙන කුරුල්ලන්ට පහර දීමයි. වසර 9ක් පුරා ඔහු නොදැනුවත්ව සිදුකරන මෙම ක්‍රියාව නිසා ඔහු හොකී ක්‍රීඩාවේ පවතින අමාරු පහරක් වන ඩ්‍රැක් ෆ්ලිකර් පහරේ විශේෂඥයෙකු බවට පත්වෙයි.

එක්තරා දිනක් හොකී ක්‍රීඩා කරන තම වැඩිමහල් සහෝදරයාට ආහාර රැගෙන ගිය අවස්ථාවක හමුවන තරුණියක් නිසා සංදීප්ගේ ජීවිතයේ එතෙක් ඔහු ආ ගමන් මඟ වෙනස් වීමට ලක් වෙනවා. හර්ප්‍රීත් කෞරෝ නම් ඇය ජාතික හොකී කණ්ඩායමට යාමට අපේක්ෂාවෙන් හොකී ක්‍රීඩාවේ නියැලෙන්නියක් වන අතර මොවුන් දෙදෙනා අතර නොදැනුවත්ව ඇති වන ආදරය පසුව හර්ප්‍රීත්ගේ දෙමාපියන් දැන ගන්නවා. මෙම සිදුවීමත් සමඟ හර්ප්‍රීත්ට දඩුවම් දීමට මා පෙර සඳහන් කළ හොකී පුහුණුකරු කටයුතු කරන අතර ඒ අවස්ථාවේ සංදීප් ඉදිරිපත් වී සියල්ල පැහැදිලි කරනවා. නමුත් අවාසනාවකට කුඩා කළ හොකී ක්‍රීඩාවෙන් පැන ගිය අයකු ලෙසින් හඳුන්වන සංදීප් සමඟ තිබූ දැඩි ක්‍රෝධය නිසාම හර්ප්‍රීත් හරියානා ප්‍රාන්තය හැර යාමට සිදු වෙනවා. ඒ අවස්ථාවේදී හර්ප්‍රීත්ගේ සහෝදරයා සංදීප්ට කියනවා පුළුවන් නම් කවදාහරි හොකී ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බවට පත්වෙලා එන්න කියලා.

පසුව මේ සියලු සිදුවීම් සංදීප් සිං සිය වැඩිමහල් සහෝදරයා වූ බ්‍රිකම්ජීත් සිං හට පවසනවා. බ්‍රිකම්ජීත් යනු ජාතික කණ්ඩායමේ තේරීම් තරග කිහිපයකට සහභාගී වී පරාජයට පත්වූ හොකී ක්‍රීඩකයෙකි. ඔහු තමා සහෝදරයාගේ සිහිනය සඳහා යාමට අවශ්‍ය මාර්ගය සකසා දීම සඳහා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු වූ හැරීව හමුවෙනවා. හැරී සමඟ කතා කිරීමෙන් පසු සංදීප්ගේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා ජාතික කණ්ඩායමේ ගෝල් කීපර් සමඟ තරගයක් පැවැත්වීමට කටයුතු කරනවා. ඒ අවස්ථාවේදී පිට පිට සංදීප් සිං විසින් එල්ල කරන ලද ඩ්‍රැක් ෆිලිකර් පහරවල් නිසා ඔහුට පුහුණු සැසි සඳහා සහභාගී වීමට අවකාශය ලැබෙනවා. මේ ආකාරයෙන් කෙටි කාලයක් තුළ ඔහු හොකී ක්‍රීඩාවේ නැතිවම බැරි චරිතයක් බවට පත්වන අතර ඔහුගේ ඩ්‍රැග් ෆිල්කර් පහරේ වේගවත් බව නිසාම ඔහුව ”ෆ්ලිකර් සිං” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගන්නවා. මේ කාලය තුළ හර්ප්‍රීත් කෞරෝ ද ඉන්දීය ජාතික කාන්තා හොකී කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක්.

ඔහු තම පෙම්වතියට පොරොන්දු වූ ආකාරයෙන් හොකී ක්‍රීඩාවේ නැතිවම බැරි ක්‍රීඩකයෙකු බවට පත්වූවත් අවසනාවකට මෙන් 2006 ජර්මනියේ පැවැති හොකී ලෝක කුසලානය සඳහා හරියානාවල සිට දුම්රියෙන් ගුවන්තොටුපළට පිටත්ව යන අවස්ථාවේදී තුවක්කුවක් පිරිසිදු කරමින් සිටි පොලිස් නිලධාරියකුගේ අත්වැරැද්දකින් ගිනි අවිය ක්‍රියාත්මක වී සංදීප්ට වෙඩි වදිනවා. සුසුම්නාවට වැදුණු වෙඩි පහරින් සති දෙකකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ සිට සිහිය පැමිණියත් සංදීප්ගේ ඉනෙන් පහළ කොටස අක්‍රීය වෙනවා. මේ අවස්ථාවේදී ජර්මනියේ සිට හර්ප්‍රීත්ද සංදීප් බැලීමට පැමිණි අවස්ථාවේදී සංදීප් විසින් හර්ප්‍රීත් කියන එක් දෙයක් නිසා හර්ප්‍රීත් නැවතත් සංදීප්ව අතහැර යනවා. එනම් හර්ප්‍රීත් ළඟ ඉන්නවා නම් හැමදාම වුණත් රෝද පුටුවේ ඉන්නම් කියා සංදීප් පවසනවා. සංදීප්ගේ ක්‍රීඩා ජීවිතය පටන් ගත් තැනම අවසන් කිරීමට අකැමැති වූ හර්ප්‍රීත් සංදීප් හැර යනවා. ඒ ඔහුට තනිවම නැඟිට නැවතත් තමා සොයා ඒවි යන බලාපොරොත්තුවෙන්.

හර්ප්‍රීත් සිතූ ආකාරයටම සංදීප් නැවතත් නැඟිටිනවා. ඒ රජයේ අනුග්‍රහයෙන් විදේශ රටක පිහිටි නැවත ප්‍රතිස්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව. ඒ වගේම නැවතත් ඔහු හොකී පිටියේ ෆ්ලිකර් සිං බවට පත්වන වෙනවා. 2009 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන සංදීප් එහි අවසන් තරගයේදී ලෝකයේ වේගවත්ම ඩ්‍රැක් ෆ්ලිකර් පහර එල්ල කරනවා. ඔහුගේ පුහුණුකරු සෑම දිනකම ප්‍රකාශ කරන පරිදි පැයට කිලෝමීටර් 145ක වේගයෙන් එල්ල කරන පහර නිසා හොකී දැලද ඉරී යනවා.

මිනිත්තු 131ක් පුරා දිව යන මෙකී කතා පුවතේ සංදීප් සිංගේ චරිතය රඟපානු ලබන්නේ නවක නළු දිල්ජීත් දෝසන්ජි වන අතර හර්ප්‍රීත් කෞරෝගේ චරිතය ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වූ තාප්සී පන්නු විසින් රඟපානු ලබයි. අධ්‍යක්ෂණය ෂාඩ් අලි විසින් සිදුකරනු ලබන අතර සොනි නිෂ්පාදන සමාගම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලැබීය. ඉන්දීය රුපියල් කෝටි 31ක මුදලක් වැය කරමින් නිෂ්පාදිත මෙම සිනමා පටය තිරගත කර මාස දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 80 ඉක්මවා ආදායමක් උපයා තිබේ. චිත්‍රපටය තිරගත වීමට දවස් දහයකට පෙර මෙහි ගීත 5ම නිකුත් කිරීම කළ අතර ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එසේම පුද්ගලයන් 2730ගේ ඡන්දයෙන් සිදුකළ ශ්‍රේණිගත කිරීමකින් 7.5 වැනි ඉහළ අගයක් ලබා ගැනීමටද සමත් වී තිබේ.

සමස්තයක් වශයෙන් මෙම සිනමාපටය තුළ ප්‍රධාන ශානර 03ක් දක්නට ලැබේ. එනම්, ආදර කතාවක්, ක්‍රීඩාව, චරිතාප්‍රදානයක් යනාදිය දැක්විය හැකිය. සංදීප් සිංගේ ජීවිත කතාව සහ ඔහුගේ නැවත නැඟිටීම සිදුවූ ආකාරය ගෙන හැර දැක්වීම සඳහා සුළු සුළු වෙනස් කම් කිහිපයක් සිනමා පටයේ රසය ඇති කිරීම සඳහා සිදු කළද කතාවේ හරය ෙප්‍ර්ක්ෂකයාව රඳවා ගැනීමට හැකි ලෙස නිර්මාණය කිරීමට අධ්‍යක්ෂවරයා දැක්වූ දක්ෂතාවය අගය කළ යුතු වේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා