ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

 ඡායාරූපය:

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

මහනුවර තම බළකොටුවේ අපරාජිත බව රැක ගනී

[ඩබ්ලිව්. ආර්. කුමාර]

සිය බළකොටුව තුල රග්බි ආධිපත්‍ය තවදුරටත් රැක ගනිමින් පසුගිය ඉරිදා (09) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සී.එච් ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 38-22ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූහ.

තම ක්‍රීඩාංගණයේ වාසියද සමග තරගයට අවතීර්ණවූ මහනුවර ක්‍රීඩකයින් පහසුවෙන් තරගයට පිවිසුනද පළමු අර්ධයේදී සී.එච්. ක්‍රීඩකයින්ගෙන් ඉතා හොඳ අභියෝගයක් එල්ල විය. 7 වැනි මිනිත්තුවේදී ප්‍රබල සී.එච්. ක්‍රීඩක සුදම් සූරියආරච්චි විසින් සත්කාරකයන්ට එරෙහිව පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීම ඇරඹීය. නැවතත් 13 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සී.එච්. ක්‍රීඩකයෝ 08-00ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වූහ.

සී.එච්. කණ්ඩායමේ ඉදිරි ගමන මිනිත්තු කිහිපයකට පමණක් සීමා කළ මහනුවර ක්‍රීඩක ධනුෂ් දයාන් 19 වැනි මිනිත්තුව වන විට සිය සුපුරුදු රිද්මයට පැමිණෙමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්ථනය අසාර්ථක වුවත් 28 වැනි මිනිත්තුවේදී නායක රිචඩ් ධර්මපාල ලබා ගත් උත්සාහක දිනුම සාර්ථක ලෙස ප්‍රවර්ථනය කිරීමට තිළිණ විජේසිංහ සමත් වීමත් සමගම මහනුවර කණ්ඩායම ඉදිරියට පැමිණියේ ලකුණු 12-08ක් ලෙසිනි. 35 වැනි මිනිත්තුවේදී බුවනෙක උඩන්ගමුව මහනුවර කණ්ඩායමේ තෙවැනි උත්සාහක දිනුමද වාර්තා කළ අතර තිළිණ විජෙසිංහ ඊට අතිරේක ලකුණු දෙකක් එක් කළ බැවින් විවෙික කාලය වන විට ලකුණු 19-08ක් වශයෙන් මහනුවර කණ්ඩායම පෙරමුණේ විය.

දෙවැනි අර්ධයේදීද පළමු අර්ධයේ තරගය ආරම්භ කළ ආකාරයටම අභියෝගාත්මකව නැවතත් තරගයට අවතීර්ණ වීමට සී.එච්. ක්‍රීඩකයෝ සමත් වූහ. මෙවර ක්‍රියාත්මකවූ සී.එච්. පිළේ ප්‍රසාද් මධුසංඛ ලබාගත් උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත සාර්ථකව ප්‍රවර්ථනය කළ බැවින් ලකුණු පරතරය 19-15 දක්වා අඩු විය. එහෙත් මහනුවර කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් ලබා ගත් උත්සාහක දිනුම තිළිණ විජේසිංහගේ සාර්ථක ප්‍රවර්ථනය හේතුවෙන් මහනුවර කණ්ඩායම ලකුණු 26-15ක් ලෙස සී.එච්. පිළ ඈතින් තැබුවේය. තරගය අත් නොහළ සී.එච් ක්‍රීඩක ප්‍රසාද් මධුෂංඛ සිය දෙවැනි උත්සාහක දිනුමද වාර්තා කිරීමට සමත් විය.

සැමුවෙල් මධුවන්තගේ දායකත්වයෙන් ලැබුණු ලකුණු 2ද සමග 26-22ක් ලෙස තියුණු සටනකට අවතීර්න වීමට ඒ අනුව සී.එච් පිළට හැකි විය. 83 වැනි මිනිත්තුවේදී අර්ෂාඩ් ජමල්ඩීන් මහනුවර කණ්ඩායමේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එය තිළිණ විජේසිංහ වෙතින් සාර්ථකව ප්‍රවර්ථනය විය. ඒ සමගම සී.එච්. කණ්ඩායමෙන් තරගය ගිලිහී යාම ආරම්භ විය. ඉන් නිසි ප්‍රයෝජන ලබා ගත් ශෂික ජයවර්ධන මහනුවර කණ්ඩායමේ අවසන් උත්සාහ දිනුම තරගය අවසන් වීමට මිනිත්තු දෙකක් තිබියදී වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තරගයේ අවසන් ලඛුණු තත්ත්වය වූයේ මහනුවර 38 - 22 සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ලෙසිනි.

මාතෘකා