ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ පුහුණුකාරිත්වය ස්ටීව් රික්සන්ට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ පුහුණුකාරිත්වය ස්ටීව් රික්සන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ස්ටීව් රික්සන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රික්සන් දෙසැම්බර් 24 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුරැකීමේ පුහුණුකරු වශයෙන් සිය සේවය ආරම්භ කරනු ඇත. ‘ස්ටීව් පන්දු රැකීමේ පුහුණුකාරිත්වයට පත්වීම ගැන සතුටුයි. ඔහු එම ක්ෂේත්‍ර යේ පළපුරුද්දක් සහිත පුහුණුකරුවෙක්. ඉතින් ඔහුට හැකිවේවි ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගන්න අවශ්‍ය පුහුණු උපදෙස් ලබාදෙන්න. එය ක්‍රීඩාව වඩාත් ප්‍රබල තැනකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන සහයෝගයක්’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් වනතුරු ස්ටීව් රික්සන්ගේ සේවය ලබාගැනීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. රික්සන් ටෙස්ට් තරග 13 කට ක්‍රීඩාකර ඇති අතර එක්දින තරග 6 කටද ක්‍රීඩා කර ඇත්තෙකි. මේ අතර රික්සන් නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුුහුණුකරු වශයෙන් කටයුතු කර ඇති අතර ඔස්ට්‍රේලියාව සහ පාකිස්තාන කණ්ඩායම්හි පන්දුරැකීමේ පුහුණුකරු වශයෙන් ක්‍රියාකර ඇත්තෙකි. ඔහු වසර දෙකක කාලයක් පාකිස්තානු ජාතික පි‍ෙළ් පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය. අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් ඇතුළු කණ්ඩායම් කීපයක පුහුණුකරුවකු වශයෙන්ද ඔහු කටයුතුකර අත්දැකීම් ලබා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය පුහුණු කිරීම සඳහා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ රෙකමදාරුව ඉවහල්ව ඇතැයි ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

නවසීලන්ත සංචාරයට ප්‍රථම ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ හදිසියේ ලෙඩ නිවාඩු ගනිමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ නික්සන් අදාළ තනතුරට බඳවා ගැනීමට ගනු ලැබූ එකඟතා පණිවුඩය රැගෙන බවද සඳහන්ය. මේ අතර ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ ඔස්ට්‍රේලියානු සහය පුහුණුකරුවන්ගේ කණ්ඩායමක්ද මනෝ උපදේශකයන්ද සමඟින් ලෝක කුසලානය බලා යන ශ්‍රී ලංකා පිළ ශක්තිමත් කිරීමේ උත්සහයක නිරත වන බවත් මේ එහි තවත් එක් පියවරක් බවත් ක්‍රිකට් විචාරකයෝ සඳහන් කරති. මීට ප්‍රථම ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේ මනෝජ් අබේවික්‍රම විසිනි. නික් පොතාස් ඉවත් වීමත් සමඟ අදාළ තනතුර ඔහුට හිමිවූ අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට එකී ධුරයේ ඔහු කටයුතු කළේය.

මාතෘකා