ජනවාරියේ විදෙස් වොලිබෝල් පුහුණුකරු පත්කර ගන්නවා - වොලිබෝල් සම්මේලනය

 ඡායාරූපය:

ජනවාරියේ විදෙස් වොලිබෝල් පුහුණුකරු පත්කර ගන්නවා - වොලිබෝල් සම්මේලනය

තෝරන්න විදේශීය පුහුණුකරුවන්ගේ

නම් එවන්න - ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කියයි

දැනට පුරප්පාඩුවී පවතින ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පුහුුණුකරු ධුරය සඳහා විදෙස් පුහුණුකරුවෙකු පත් කිරීම යම් ආකාරයකින් පමා වන ලකුණු දක්නට ලැබුණත් එසේ නොවී නව පුහුණුකරුවකු පත් කිරීමට හැකි බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් තමාට හැකියාව පවතින බව ‘රැස’ පුවත්පතට අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධන පුහුණුකාර ධුරය සඳහා විදෙස් පුහුණුකරුවකු බඳවා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි. ‘ඉදිරිපත්වී ඇති අයැදුම්පත් ක්‍රීඩා අමාත්‍යංශයට එවන්න වොලිබෝල් බලධාරීන්ට හැකියාව තිබෙනවා. ඒවා සලකලා බලලා සුදුසු පුහුණුකරුවා තෝරාගන්න අනුමැතිය ලබාදිය හැකියි’ යනුවෙන් ලේකම්වරයා පැවසීය.

පුරප්පාඩුවී පවතින ජාතික වොලිබෝල් පුහුණුකාර ධුරය සම්බන්ධව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සාන්තසිරි නාලක මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකා වොලිබෝල් ජාතික පුහුණුකරු තනතුර සඳහා විදෙස් පුහුනුකරුවන් අට දෙනෙකු අයැදුම් පත් යොමුකර ඇති බවයි. ඔවුන් අතරින් සුදුසු පුහුණුකරුවකු තෝරා ගැනීම කඩිනමින් සිදුකරන බවද ඒ මහතා පැවසීය. මෙයට පෙර ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කළේ සර්බියානු ජාතික පුහුණු කරුවෙකි. සර්බියාව වොලිබෝල් ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමේ සිටින රටක් බැවින් එම පුහුණුකරුගෙන් ලැබුණාටද වඩා සේවයක් මෙවර බඳවා ගන්නා පුහුණුකරුගෙන් අපේක්ෂා කරන බවද සාන්තසිරි මහතා පැවැසීය.

එසේ වුවත් අපට ඇති ආර්ථික හැකියාව අනුව පුහුණු කරු තෝරා ගැනීමට සිදුවන බවද වොලිබෝල් සම්මේලනය පවසයි. දැනට ලැබී ඇති අයදුම්පත් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකර අමාත්‍යාංශයේ අනුමැතිය මත නව පුහුණුකරු ජනවාරි මාසය තුළ බලපැවැත්වෙන පරිදි සේවයට බඳවා ගැනීම සිදුකරන බව සම්මේලනය ප්‍රකාශ කළේය.

පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැති ආසියනු අභායෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ දී හිටපු පුහුණුකරු ක්‍රියා කළ ආකාරය නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ බලාපොරොත්තුවූ ප්‍රතිඵලය කරා යෑමට නොහැකි වූ බැවින් ඒ සම්බන්ධව පුහුණුකරු සම්බන්ධව පැවැති පරීක්ෂණයකින් අනතුරුව හිටපු සර්බියානු පුහුණුකරු වෙජාන් වුලිසෙවිච් සහ සහාය පුහුණුකරුවන්ගේද සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය. ශ්‍රී ලංකා වොලිබෝල කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකාර ධුරය සඳහා නැවත වතාවක් විදෙස් පුහුණුකරුවෙක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ ඉන්අනතුරුවය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා