ෂේන් වෝන්ට අභියෝග කර අදිසි ලෙස නිහඬ වූ ශ්‍රී ලංකාවේ දකුණත් පාදඟපන්දුව

 ඡායාරූපය:

ෂේන් වෝන්ට අභියෝග කර අදිසි ලෙස නිහඬ වූ ශ්‍රී ලංකාවේ දකුණත් පාදඟපන්දුව

ජාතික තලයෙන් ජාත්‍යන්තර ජයගැනීමට යම් ක්‍රීඩකයකුට අවස්ථාව ලැබෙනවා නම් එය අතිශය වැදගත්. මේ අපි කියන්නෙ එවැනි අවස්ථාවන් විරලවුණු ක්‍රීඩකයෙක් පිළිබඳවයි. ඔහු මීට දශකයකට පෙර ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක කළ නොහැකි චරිතයක්. ඒ නිමේෂ් පෙරේරා. ඇතැමුන් නොදන්නා නමුත් දැනගත යුතු ක්‍රිකට් අතීතයක උරුමකරුවෙක්.

90 දශකයේ අගභාගයේදි වගේ නම් නිමේෂ් පෙරේරා කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතරේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වුණ බොහොම ජනප්‍රිය නවක ක්‍රිකට් තරුවක්!

නිමේෂ් පෙරේරා කියන්නේ ඒ කාල වකවානුවේදි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තිබුණු විශාල අනාගත ආයෝජනයක්, බලාපොරොත්තුවක් කියලා කිව්වොත් ඒකේ කිසිම වැරැද්දක් නැහැ!

එවැනි පසුබිමක් තිබුණු නිමේෂ් ගැන 1999 වසරෙන් පසුකාලීනව ඒ තරම් අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න නියමිතව හිටපු නිමේෂ්ට සිදුවෙච්ච දේ ගැන බහුතරයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ දන්නෙත් නැහැ.

නිමේෂ් ගැන කිසිවක්ම නොදන්නා අයටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විරල ගණයේ සම්පතක් වෙච්ච නිමේෂ්ට සිදු වුණු දේ ගැන දැනගන්න කැමති අයටත් මේ ලිපියෙන් යම් තරමකට හෝ අවබෝධයක් ලබාගන්න හැකිවේවි.

ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම

මෝදර මීහලගේ දොන් නිමේෂ් රන්දික ගයාන් පෙරේරා උපත ලබන්නේ 1977 සැප්තැම්බර් 5 වනදා. පසුකාලීනව විරල ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත්වුණු නිමේෂ්ට දෙමව්පියන් ලබා දුන්න නමත් විරල ගණයේ එකක් කියලා අමුතුවෙන් ලියන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි තරු ගොන්නක් බිහි කල මොරටු පුරයෙන් බිහි වුණු තවත් එක් විශිෂ්ට ක්‍රිකට් තරුවක් වුණු නිමේෂ්ගේ පාසල වුණේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

කුඩා කාලයේදිම පන්දුව හා පිත්ත අතට හුරුකරගත්ත නිමේෂ්ට පාසලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීම එතරම් අපහසු කාරණයක් වුණේ නැහැ.

අවුරුදු 13න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා දිවිය ආරම්භ කරපු නිමේෂ් අවසානයේදි නතර වෙන්නේ ශාන්ත සෙබස්තියන් කණ්ඩායමේ අවුරුදු 19න් පහළ කණ්ඩායමට නායකත්වය ලබාදීමෙන්.

සැලකිය යුතු කාල වකවානුවක් පාසල් මට්ටමෙන් උපරිම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක් වීම නිසා කෙටි කාලයකින්ම මුළු රටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගන්න නිමේෂ් සමත් වුණේ ඒ අතරෙයි.

අති දක්ෂ පා දඟ පන්දු යවන්නෙක් වෙච්ච නිමේෂ් ලෙග් බ්‍රේක්,ටොප්ස්පිනර්,ගුග්ලි,ෆ්ලිපර් පන්දු සියල්ලම හොඳින්ම සංකලනය කරමින් පන්දු යවන්න හැකියාවක් තිබුණා කිව්වොත් නිවැරදියි.

සාමාන්‍යයෙන් ක්‍රිකට් දන්න අයගේ නිර්වචනයන්ට අනුව නිමේෂ් පෙරේරා වගේ පා දඟ පන්දු යවන්නෙක් අදටත් ශ්‍රී ලංකාවේ බිහිවෙලා නෑ. ඒක තමයි ඇත්ත. නිමේෂ් පාසල් කාලයේදි දක්වපු දක්ෂතා අතරින් සුවිශේෂීම දක්ෂතාවය ලෙස කඩුලු 128ක් ලබාගනිමින් මුත්තයියා මුරලිදරන් පිහිට වූ පාසල් වාර්තාවක් වන, "පාසල් ක්‍රිකට් ක්‍රීඩා වාරයකදි වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දුයවන්නා" ගේ වාර්තාව දෙවරක් පසුකර යෑම සඳහන් කරන්න පුළුවන්.

මුරලි ලබාගත් වැඩිම කඩුලු 128 වාර්තාව මුලින් නිමේෂ් බිඳ දමන්නේ එක් තරග වර්ෂයක කඩුලු 131ක් දවාගනිමින්.

එම වාර්තාවම 1996 වසරේදි නැවතත් අලුත් කරන නිමේෂ් එම ක්‍රීඩා වාරයේ තරග 15කදී කඩුලු 134 ක් දවා ගන්නට සමත්වෙනවා. විශේෂයෙන්ම පාදඟ පන්දුයවන්නෝ අල්ප වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට දායක කළ ක්‍රිකට් කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාවට මුරලි වැනි පිට දඟ පන්දුයවන්නෙක් සමඟ එකතු වී විශිෂ්ට ගණයේ කාර්යභාරයක් ඉටු කළහැකි පාදඟ පන්දුයවන්නෙක් ලෙස නිමේෂ් වැඩිදියුණු වීම විශාල වාසියක් ගෙනදුන් කාරණයක්. නමුත් නිමේෂ් පන්දුයවන්නෙක් ලෙස පමණක්ම ක්‍රිකට් පිටියේ දක්ෂකම් දැක්වූ ක්‍රීඩකයෙක් නම් නෙවෙයි.

ඒ අතරෙ නිමේෂ්ට හොඳින් පන්දුවට පහරදෙන්නත් හැකියාව තිබුණා. මැදපෙළ පිතිකරුවෙක් ලෙස දිගු ඉනිම් වලට යා හැකි ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස නිමේෂ්ව හැඳින්විය හැකියි. හරිම විදියට කියනවනම් නිමේෂ් කියන්නේ "නියම තුන් ඉරියව්" ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරීම

පාසල් ක්‍රිකට් තරගවලදී නිරන්තරයෙන්ම දක්වපු සුපිරි දක්ෂතා නිසා නිමේෂ්ට 1996 වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිවුණා. ඒ වගේම 1997 වසරේදි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට පත්වෙන්නත් හේතු වුණේ නිමේෂ්ට තිබුණු විරල ගණයේ දක්ෂතාවයමයි. නිමේෂ්ගේ නායකත්වය යටතේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෝ කීපදෙනෙක්ගේ නම් සඳහන් කළ යුතුයි. එවිට ඔබට නිමේෂ් පිළිබඳ දළ අවබෝධයක් ඇතිකරගන්න එය හේතුවක් වේවි.

ඔවුන් අතර කුමාර් සංගක්කාර, රංගන හේරත්, දිල්හාර ෆර්නෑන්ඩෝ, චින්තක ජයසිංහ, හේමන්ත බොතේජු, ශාන්ත කලවිටිගොඩ වැනි ක්‍රීඩකයන් ක්‍රීඩා කළා. ප්‍රමුඛ පෙළේ පාසල් 4ක කණ්ඩායම් නායකයෝ නිමේෂ් නායකත්වය දුන්න මේ කණ්ඩායමට ඇතුළත් වෙලා හිටපු බවත් අමතක නොකළ යුතු කාරණයක්.

1997 වසරේ පෙබරවාරි මාසයේ අන්ෂුමාන් ගයක්වාඩ්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සංචාරය කල ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟාවලියකට හා එක්දින තරඟාවලියකට මේ කණ්ඩායම සහභාගි වෙනවා. ඉන්දියානු අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3ක ටෙස්ට් තරගාවලිය තරග 2-0 ලෙස පරාජය වුණත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට නිමේෂ්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වෙනවා.

ජයග්‍රහණය කළ මුල් එක්දින තරග 2දීම හොඳම පන්දුයවන්නා වෙමින් ඉන්දීය කඩුලු 3 බැගින් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දුයවන්නා බවට නිමේෂ් පත්වන්නේ රංගන හේරත්ට එකම කඩුල්ලක් වත් ලබාගැනීමට අසමත් වන අතරවාරයේදියි. එමෙන්ම පිතිකරණයෙන් නිමේෂ් දෙවන එක්දින තරඟයේදි හේමන්ත බොතේජු සමඟ එක්වෙමින් අගනා සබඳතාවයක් ගොඩනගමින් ලකුණු 46ක් ලබාගැනීමටද සමත් වූ බවද අමතක නොකළ යුතුයි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟින් එංගලන්තය සංචාරය කිරීම

1997 වසරෙන් පසුව පළමු පෙළ ක්‍රීඩාවේ නිරත වූ නිමේෂ් නැවතත් කරළියට පැමිණෙන්නේ 1999 වසරේ ජූලි මාසයේදි පැවැත්වුණ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදියි. 1999 වසරේ මැයි මාසයේදි එංගලන්තයේදි පැවති ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ලැජ්ජා සහගත ලෙස ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම පරාජය ලැබීම නිසා ඉන් මාස දෙකකට පසු එංගලන්තය සංචාරය කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ආරම්භ කිරීමටත් පෙර යම් පීඩනයකට ලක් වී සිටි බවද සඳහන් කළයුතුයි.

මෙම සංචාරයේදි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය එකල සිටි තවත් දක්ෂ ක්‍රීඩකයෙක් වන නවීඩ් නවාස් විසින් දැරූ අතර පසුකාලීනව ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් සාර්ථක ලෙස දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම එකල ළාබාල ක්‍රීඩකයින් ලෙස මෙම තරගාවලියට සහභාගී වීමද විශේෂත්වයක්.ටී.එම්.ඩිල්ශාන්, ප්‍රසන්න ජයවර්ධන, දිල්හාර ෆර්නෑන්ඩෝ, අවිශ්ක ගුණවර්ධන, රංගන හේරත්, ඉන්දික ද සේරම්,රවීන්ද්‍ර පුෂ්පකුමාර මේ අතර වනවා.

තරගාවලියේ පළමු තරගය ලෙස එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම සමඟ පැවති තුන්දින තරගය ලකුණු 64කින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයගන්නට සමත්වන්නේ නිමේෂ් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනුයි. ජාත්‍යන්තර අත්දැකීම් ඇති ළාබාල ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට එක් වූ රවීන්ද්‍ර පුෂ්පකුමාර එංගලන්ත ඉනිම් දෙකේදී කඩුළු 7ක් ලබාගන්නට සමත්වීම, නායක නවීඩ් නවාස් ලබාගත් ලකුණු 75, පිතිකරණයෙන් නිමේෂ් නොදැවී රැස්කළ ලකුණු 110 මෙන්ම පන්දුයැවීමේදි ලකුණු 25කට කඩුලු 4ක් දවාගැනීම ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි.

තරගාවලියේ දෙවන තරගයේදි ප්‍රියංකර වික්‍රමසිංහ,ඉන්දික ද සේරම්,අවිශ්ක ගුණවර්ධන හා රංගන හේරත් දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසා ලැන්කෂයර් කණ්ඩායම ලකුණු 179කින් පරාජය කිරීමට සමත්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලියේ තෙවනි තරගයේදි 1999 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීම එකල ශ්‍රී ලංකාවේ සිටි දෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් ලොවටම කියා පෑ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. මෙම තරගයේදි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජයගන්නේ කඩුලු 3කින් නවසීලන්ත ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින්.

නිමේෂ් ඇතුළුව මෙම තරගාවලියට සහභාගී වූ බහුතරයක් නවක ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීම නිසා මෙම තරගාවලියට පෙර පැවති 1999 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කළ බළධාරීන්ට යම් යම් අපවාදයන් වලට ලක්වීමට සිදු වූ බවද රහසක් නොවේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම් සංචිතයට ඇතුළත්වීම

1999 ජූලි මාසයේ එංගලන්තයේදි පැවති මෙම තරගාවලියේදි දැක්වූ දක්ෂතා හේතුවෙන් නිමේෂ්ට 1999 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේදි පැවති ‘අයිවා’ කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීමේ වාසනාව හිමි වූවත් එකල සිටි තවත් විශිෂ්ට පාදඟ පන්දුයවන්නෙක් වූ උපුල් චන්දන තරගාවලිය පුරාවටම සාර්ථක වීම නිසා නිමේෂ්‍ට අයිවා කුසලානයේ එකම තරගයක් වත් ක්‍රීඩා කිරීමට හැකිවන්නේ නැහැ.

ආබාධයට ලක්වීම

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක සිටි නිමේෂ් නොසිතූ අයුරින් ඇතිවූ හර්නියා රෝගය හේතුවෙන් 1999 වසරේ අවසන් කාල සීමාවේදි ඉතා අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වෙනවා.

යම් ක්‍රීඩකයෙක්ගේ ක්‍රීඩා දිවිය අවසන් වන මට්ටමේ රෝග තත්වයක් නොවන හර්නියා රෝගයට නිමේෂ් ගොදුරු වුණ කාල වකවානුවේදි නිසි ප්‍රතිකාර ක්‍රම තිබුණත් එම ප්‍රතිකාර ක්‍රම සඳහා වැයවූ කාලය වර්තමානයට වඩා බෙහෙවින් වැඩි බවයි සඳහන් වන්නේ. නිමේෂ් සඳහන් කරන ආකාරයට ඒ කාලයේදි ඔහුට ලැප්‍රෝස්කොපික් හර්නියා ශල්‍යකර්මය සිදුකරගැනීමේ හැකියාවක් නොතිබීම නිසා ප්‍රතිකාර වෙනුවෙන් විශාල කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වී තිබෙනවා. මුත්තයියා මුරලිදරන්,කෙවින් පීටර්සන් වැනි ක්‍රීඩකයින් පවා පසුකාලීනව මෙම ආබාධයෙන් සුව ලබා නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණියත් නිමේෂ්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය හමාර කිරීමට හේතුවන්නේ මෙම හර්නියා රෝගයයි.

මාස 10ක වැනි කාලයක් ප්‍රතිකාර හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටි නිමේෂ් නැවතත් ක්‍රීඩාවට එක්වෙද්දී ඔහුගේ ශරීරයේ බර බෙහෙවින් වැඩි වී කිලෝ 90කට ආසන්නව තිබූ අතර සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම සඳහා ඔහු අසීමිත ලෙස පුහුණුවීම් කටයුතු වල නිරත වූ බවයි ඔහුගේ සමීපතයින් සඳහන් කළේ. කෙසේ නමුත් බලධාරීන්ගේ අවධානය නැවත ලබාගැනීමට නිමේෂ්ට හැකිවන්නේ නැහැ. ආබාධයෙන් පසුකාලීනව හලාවත මේරියන්ස් කණ්ඩායම සමඟ එක්වන නිමේෂ් පළමුපෙළ තරග 146ක ඉනිම් 228 ක් ක්‍රීඩා කරමින් පිත්තෙන් ලකුණු 5769ක් ලබාගෙන ඇති අතර ඉනිමකදී ලබාගත් උපරිම ලකුණු සංඛ්‍යාව 152ක් වශයෙනුයි. එමෙන්ම පන්දු යැවීමේදි ඔහු ලබාගත් කඩුලු ගණන 270කි. හොඳම පන්දුයැවීම ලෙස ලකුණු 24කට කඩුලු 8ක් දවාගැනීම සඳහන් කළ හැකියි.

අවාසනාවන්ත ලෙස දෛවය එරෙහි නොවුනා නම් නිමේෂ් යනු අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් එක් සුපිරි ක්‍රිකට් තරුවකි.

[හේලිත හෙට්ටිආරච්චි]

මාතෘකා

ජනප්‍රිය ලිපි