ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

කොළඹ එස්. එස්. ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර තෙවැනි එක්දින තරගයේ අංක 10 පිතිකරු ලෙස පිටියට පැමිණි අමිල අපොන්සුගේ නිර්භීත පිති හරඹය නිසා තියුණු තරගයකින් පසු එම තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ සමගම තරගාවලියේ ජය තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකා නැගී එන පිලට හිමි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48.5කදී කඩුලු 8ක් දැවීඉලක්කය සපුරා ගත්හ. එක් අවස්ථාවකදී කඩුලු 4ක් දැවී ලකුණු 183ක් ලබා ප්‍රබල ස්ථානයක සිටි අතර ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සදීර සමරවික්‍රම පන්දු 106කින් ලකුණු 68ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් පමණක් එල්ල කරමිනි. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සමරවික්‍රම මුලු ලකුණු සංඛ්‍යාව 183ක්ව තිබියදී දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීම ඇරඹිණි. ලකුණු 15කදී කඩුලු 4ක් බිඳ වැටීම නිසා කඩුලු 8කට ලකුණු 198ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් විය. එම අවස්ථාවේදී පිටියට පිවිසි අමිල අපෝන්සු නව වැනි කඩුල්ල සඳහා චාමික කරුණාරත්න සමග එක්ව ලකුණු 29ක නොබිඳුණු සබඳතාවයක් පවත්වා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙනයාමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන ඉනිමේ වාර්තා වූ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ ජෙහාන් ඩැනියෙල් පන්දු 61කින් ලකුණු 50ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගිනි. තරගයේ නායකත්වය දැරූ චරිත් අසලංකද පන්දු 38ක් තුළ ලකුණු 33ක් රැස්කළේය. ඒ සඳහා ඔහු හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් එක්කිරීමට සමත්විය.

මෙම තරගය සඳහා නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම දිමුත් කරුණාරත්නද සහභාගී නොවූ අතර ඒ වෙනුවට තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දී තිබිණි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පන්දුවාර 42.3කදී ලකුණු 223කට සීමා විණි. ඔවුන්ගේ එකදු පිතිකරුවකුට හෝ අර්ධ ශතකයක් ලබා ගැනීමට නොහැකි වූ අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ ලකුණු 48 බැගින් තම පිලට එක් කළ ටෝනි ඩි සෝර්සි සහ ඊතන් බෝස්ච්ය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු පහම පන්දුවාර 20කදී ලකුණු 85කට බිඳ වැටුණි. ඔවුන්ගේ ඉනිමේ හොඳම සබඳතාවය වාර්තා කරමින් සෝර්සි සහ බෝස්ච් 6වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබඳතාවයක් ගොඩනැගීය. ඒ සඳහා ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 91ක් පමණි. පන්දු 58කින් වාර්තාවූ සෝර්සිගේ ප්‍රවේසම් සහගතව රැස්කළ ලකුණු 48 සඳහා හතරේ පහර 3ක් පමණක් ඇතුළත් කළේය. එක් හතරේ පහරක් සහ අලංකාර හයේ පහර 4ක් සමගින් තම ලකුණු 48 වාර්තා කළ බෝස්ච් ඒ සඳහා පන්දු 54කට මුහුණ දුන්නේය. මතෙව් බ්‍රීට්ස්කෙ පන්දු 51කින් ලකුණු 42ක් දකුණු අප්‍රිකානු පිලට එක් කළේ හතරේ පහර 5ක්ද සමගිනි.

ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම (පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී) 223

(ටෝනි ඩි සෝර්සි 48, ඊතන් බෝස්ච් 48, මතෙව් බ්‍රීට්ස්කෙ 42, ජෙෆ්රි වැන්ඩර්සේ 3/54, අමිල අපෝන්සො 2/33)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම (පන්දුවාර 48.5කදී කඩුලු 8ක් දැවී) 227

(සදීර සමරවික්‍රම 68, ජෙහාන් ඩැනියෙල් 50, චරිත් අසලංක 33, අමිල අපෝන්සො නොදැවී 19, නැන්ඩ්‍රේ බර්ගර් 3/33, ග්‍රෙගරි මහ්ලොක්වානා 2/49)

 

මාතෘකා