ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගය අද

මාස එකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සිදුකළ දීර්ඝ ක්‍රිකට් සංචාරයේ අවසන් තරගය ලෙස සැලකෙන දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තිස් පන්දහසකට තරග නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය අද පස්වරු හතට ආරම්භවීමට නියමිතය. තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් සිය තහනම නිමවීමෙන් අනතුරුව අද පැවැත්වෙන තරගය සඳහා නම්කර ඇති පහළොස් දෙනාගේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

මෙම සංචිතයට කැඳවා තිබූ ජෙෆ්රි වැන්ඩර්සේ, හා ෂෙහාන් මධුසංඛ අවසන් මොහොතේ ඉන් ඉවත් කිරීමටත් අතිරේක ක්‍රීඩකයන් වශයෙන් සංචිතයට නම් කර තිබූ ඉසුරු උදාන සහ කසුන් රාජිත යළි සංචිතයට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. එම සංචිතය සඳහා වමත් වේග පන්දුයවන්නකු වශයෙන් බිනුර ප්‍රනාන්දුද කැඳවා තිබේ. ඔහු දේශීය තරගවලදී දක්ෂතා දක්වා ඇති අතර 2015 වසරේදී අවසන් වරට පන්දුවාර විස්සයි විස්ස තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳව තිබේ. සුරංග ලක්මාල් පන්දුවාර විස්ස සංචිතයෙන් ඉවත්වන විට ඇතිවන හිස්තැන සඳහා ඔහු නම්කර ඇත.

නම්කළ සංචිතය මෙසේයි-

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, තිසර පෙරේරා, ශෙහාන් ජයසූරිය, කසුන් රාජිත, ළහිරු කුමාර, දිනේෂ් චන්දිමාල්, අකිල ධනංජය, ඉසුරු උදාන, ලක්ෂාන් සඳකැන්, බිනුර ප්‍රනාන්දු

අතිරේක ක්‍රීඩකයන් - දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල

මාතෘකා