බොක්සිං සංගමයට නව නිලධාරීන් 4 ක්

බොක්සිං සංගමයට නව නිලධාරීන් 4 ක්

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ පුරප්පාඩු වී පැවති තනතුරු හතර සඳහා නිතරගයෙන් නව නිලධාරීන් තේරී පත්ව තිබේ. පසුගියදා කොළඹ කිරුළපන හෙල ක්ලෝදින් පුද්ගලික සමාගම් ශ්‍රවණාගාරයේ දී මෙම විශේෂ මහ සභා රැස්වීම සංවිධානය කර තිබිණි.

ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති සහ උපලේකම් තනතුරු සඳහා මෙලෙස නව නිලධාරීන් පත් කිරීම එහිදී සිදු විය. හිටපු ලේකම් එම්. ටී. එම්. සෆ්රාස් සහ හිටපු භාණ්ඩාගාරික බල ඝන නායක ප්‍රසාද් විජේසිංහ බොක්සිං විනිශ්චයකරුවන් ලෙස පත්වීමත්, උප ලේකම් සමන්ත කත්‍රිආරච්චි පාඨමාලාවක් හැදෑරිම සඳහා පිටත්ව යෑමත් නිසා මෙම තනතුරු පුරප්පාඩු වූ අතර උප සභාපති ධුරය පසුගිය වසරේ සිටම පුරප්පාඩු වී පැවතුණි.

නිලවරණය සඳහා එක් තනතුරකට එක නාම යෝජනාව බැගින් බොක්සිං සංගමය වෙත ලැබී තිබුණු අතර එම නිසා පුරප්පාඩු වී පැවති සියලුම තනතුරු සඳහා නව නිලධාරීන් නිතරගයෙන් පත් වීම විශේෂ සිදු වීමකි.

ලේකම් - ගයාන් ධනංජය (හෙල බොක්ෂිං ක්‍රීඩා සමාජය), භාණ්ඩාගාරික - දීපාල් ප්‍රියංග (ඝන්ධාර බොක්සිං ක්‍රීඩා සමාජය), උපසභාපති - ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ (හෙල බොක්සිං ක්‍රීඩා සමාජය), උපලේකම් - කොමදෝරු එම්. ඒ. එල්. පෙරේරා (නාවික හමුදාව)

මෙම නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමේ අවස්ථාවට බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් ඇතුළු බොක්සිං සංගමයේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ නියෝජිතයින් සහභාගි විය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා