සුපිරි පළාත් එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ මාලිංගගේ නමත් 24 දෙනාගේ සංචිතයට

 ඡායාරූපය:

සුපිරි පළාත් එක්දින තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ මාලිංගගේ නමත් 24 දෙනාගේ සංචිතයට

ජාතික කණ්ඩායමෙන් ඉවත්කර ඇති සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී දඹුල්ල සංචිතයට නම්කර තිබේ. කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මැයි මස 2 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියට අදාළව එක් එක් කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත. අදාළ පළාත් කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මෙලෙස නම් කරන ලද ක්‍රීඩකයන්ගෙන් 15 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතයක් නම් කිරීමට නියමිතව තිබේ. 
මේ වනවිට ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සම්බන්ධව වේග පන්දු පුහුණු උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලසිත් මාලිංග මෙම තරගාවලියට සහභාගිවන්නේද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව නැත. 
2017 වසරේ අගෝස්තු මාසයේදී ඉන්දීය සංචාරය අතරතුර ශ්‍රී ලංකා බලධාරීන් විසින් ලබාදුන් තණතීරු සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් විවේචනය කිරීමත් සමඟ ඔහු හා ක්‍රිකට් බලධාරීන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබිණි. 
සත්කාර කණ්ඩායමට වඩා සංචාරය සඳහා පැමිණි කණ්ඩායමට වඩා වාසිදායක වන අයුරින් මෙම තණතීරු නිර්මාණය වී ඇති බව ලසිත් මාලිංග ප්‍රකාශ කළේය. ඔහු හා එවකට ක්‍රීඩා අමාත්‍යවරයාවූ දයාසිරි ජයසේකර මහතා අතර ඇතිවූ මත ගැටුමද වඩා උණුසුම් මුහුණුවරක් ගත් අතර පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තෝරාගැණුනේ නැත. 
මේ අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන්දියාවේ සිට අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේ යළි තමන් කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් උදාවනු ඇති බවට විශ්වාස කරන බවයි. මෙම වසරේ දකුණු අප්‍රිකානුවන් සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඒ අනුව තමන්ට හිමිවනු ඇති බවද ඔහු සඳහන් කර තිබිණි. ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තමන්ව කණ්ඩායමෙන් ඉවත්කරන ලද බව පවසා ඇති මාලිංග එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ පන්දුවාර විස්ස තරගවලදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ශ්‍රී ලාංකික පන්දුයවන්නා තමන් බවය’
තමන්ට තවදුරටත් එලෙසින්ම දක්ෂතා දැක්විය හැකි බව ඔහු එහිදී විදෙස් මාධ්‍ය වේදීන් අමතා ප්‍රකාශ කර තිබේ. ‘ මට තවමත් අවස්ථාවක් ලබාදීලා නැහැ. නමුත් මම දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න අපේක්ෂා කරනවා. ඔවුන් ලබන ජූලි මාසයේ ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
තරගාවලිය සඳහා නම්කර ඇති 
සංචිත මෙසේයි.
කොළඹ - දිනේෂ් චන්දිමාල්(නායක), තිසර පෙරේරා(උපනායක), ධනංජය ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ පෙරේරා, දිල්හාන් කුරේ, චාමර සිල්වා, ඩිල්ෂාන් මුණවීර, ලසිත් අබේරත්න, සමිත් දුෂාන්ත, නිසල් ෆැන්සිස්කෝ, වනිඳු හසරංග, තික්ෂිල ද සිල්වා, කවිෂ්ක අන්ජුල, ලක්ෂාන් සඳකැන්, සචින්ත පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය, විකුම් සංජය, විශ්වා ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, නිපුන් මාලිංග, කමිඳු මෙන්ඩිස්, චරිත් සේනානායක(කළමනාකරු), අවිශ්ක ගුණවර්ධන(පුහුණුකරු)
ගාල්ල - උපුල් තරංග(නායක), දසුන් ශානක(උපනායක), භානුක රාජපක්ෂ, සදීර සමරවික්‍රම, ළහිරු මලින්ත, ජනිත් ලියනගේ, චතුරංග ද සිල්වා, රමිත රඹුක්වැල්ල, මාධව වර්ණපුර, ඇන්ඩි සොලමන්ස්, දේශාන් ඩයස්, ඉරෝෂ් සමරසූරිය, ෂෙහාන් ප්‍රනාන්දු, ෂම්මු අශාන්, සීක්කුගේ ප්‍රසන්න, චතුර රන්දුණු, මලින්ද පුෂ්පකුමාර, නිශාන් පීරිස්, සුරංග ලක්මාල්, නිසල තාරක, මොහොමඩ් ඩිල්ෂාඩ්, ධනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර, වරුණ වරාගොඩ(කළමනාකරු), හෂාන් තිලකරත්න( පුහුණුකරු)
මහනුවර-  ඇන්ජලෝ මැතිව්ස්(නායක), නිරෝෂන් දික්වැල්ල( උපනායක), ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, මිනෝද් භානුක, මහේල උඩවත්ත, අවිශ්ක ප්‍රනාන්දු, තරංග පරණවිතාන, ප්‍රියමාල් පෙරේරා, පැතුම් නිශ්ශංක, ජීවන් මෙන්ඩිස්, සචිත්‍ර පතිරණ, අදීෂ නානායක්කාර, රමේෂ් මෙන්ඩිස්, ප්‍ර මෝද් මදුෂාන්, චරිත් අශාන්ලංකා, ඉසුරු උදාන, නිපුන් කාරියවසම්, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, හසිත බෝයගොඩ, ජෙහාන් ඩැනියෙල්, මලින්ද වර්ණපුර (කළමනාකරු), පියල් විජේතුංග(පුහුණුකරු)
දඹුල්ල - කුසල් ජනිත් පෙරේරා(නායක), මිලින්ද සිරිවර්ධන (උපනායක), ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, අමිල අපෝන්සු, සචිත්‍ර සේරසිංහ, සචිත්‍ර සේනානායක, අශාන් ප්‍රියන්ජන, ළහිරු ගමගේ, නිපුන් කරුණානායක, සංගීත් කුරේ, ටී.එන්.සම්පත්, ළහිරු මධුසංඛ, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ෂෙහාන් මධුසංඛ, රවිඳු ගුණසේකර, කෝසල කුලසේකර, සහන් නානායක්කාර, මහේෂ් ප්‍රියදර්ශන, ඩී.ඒ. රත්නායක, නිෂාන් මධුසංඛ, තිසරු රශ්මික දිල්ෂාන්, විනෝදන් ජෝන් (කළමනාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය (පුහුණුකරු)
තරග කාල සටහන - මැයි 2 දා -කොළඹ හා දඹුල්ල (ආර්.ප්‍රේමදාස පිටිය), මහනුවර හා ගාල්ල (පී.සරා),  මැයි 5 - කොළඹ හා මහනුවර (ආර්. ප්‍රේමදාස), දඹුල්ල හා ගාල්ල (සී.සී.සී. ), මැයි 8 - කොළඹ සහ ගාල්ල (ආර්.ප්‍රේමදාස), දඹුල්ල සහ මහනුවර ( පී. සරා), මැයි 11 - ගාල්ල සහ මහනුවර (පී.සරා), දඹුල්ල සහ කොළඹ (සී.සී.සී), මැයි 14 - ගාල්ල සහ දඹුල්ල (පී.සරා), මහනුවර සහ කොළඹ (ආර්. ප්‍රේමදාස), මැයි 17 - මහනුවර සහ දඹුල්ල ( පී.සරා), ගාල්ල සහ කොළඹ ( ආර්. ප්‍රේමදාස), මැයි 20- අවසන් මහා තරගය (දිවා රාත්‍රී)

මාතෘකා