ලසන්ත, සිංහල කවි පත් මත ගැඹුරු ඉරි ඇඳීමට සමත් කවියෙක්

 ඡායාරූපය:

ලසන්ත, සිංහල කවි පත් මත ගැඹුරු ඉරි ඇඳීමට සමත් කවියෙක්

නිර්මාණකරුවා යනු තමන්ගේ වටපිටාවට වඩාත් සංවේදී හිතැත්තෙක්. එසේ නොවන්නකුට සැබෑ නිර්මාණකරුවකු වීම පහසු කටයුත්තක් නොවේ. මානව සමාජයට මෙන්ම තමන්ගේ ස්වාභාවික වටපිටාවට සංවේදී වන විට ඒ ඇසුරෙන් නිර්මාණකරුවාට ස්වකීය නිර්මාණ සඳහා අප්‍රමාණ වස්තු විෂයන් සොයා ගත හැකිවේ. ස්වාභාවිකව ඉපැදුණු දිය දහරාවක්, විසල් ගසක්, දිරායන පත්‍රයක්, ඉපැරණි ගොඩනැඟිල්ලක් දකින නිර්මාණකරුවා එහි ඇති මතුපිට දසුන නොව එහි යටිපෙළ අරුත සොයා ගනී. නිර්මාණකරුවාට අදාළ වන්නේ ඒ යටිපෙළ අරුතයි. රසිකයාගේ ජීවන පරාසය පුළුල් කරන්නේ ඒ යටිපෙළ අරුත මතුකර දීමයි. බොහෝ දෙනා නිර්මාණයක ගැඹුර යැයි පවසන්නේ මෙයටයි. නිර්මාණයක ත්‍රිමාණ ස්වරූපය හදන්නේද මෙයයි.

ලසන්ත ද සිල්වා හෙවත් ලසාගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “තුනී තුරුපත් මත ගැඹුරු ඉරි” නිර්මාණ එකතුව කියවන විට පළමුවෙන් ඇතිවන හැඟීම වන්නේ තමන් ජීවත් වූ හැදී වැඩුණු සමාජ පරිසරයට රචකයා කෙතරම් සංවේදී වී ඇත්දැයි යන්නයි. නිර්මාණකරුවාට මේ කාරණයෙන් සම්පූර්ණයෙන්ම විනිර්මුක්ත විය නොහැකිය. එසේ වන සෑම විටම ඔහු වංචාකාරී පුද්ගලයෙක් බවට පත්වේ. එවැනි නිර්මාණවලට අත්වන්නේ කෙටිකාලීන මරණයකි. “කිතුල්දෝවේ පිහිල්ල “, “නැග්රැක් හි ලයිම් කාමරයක නිවසන දරුවා”, “හතරවෙනි හරස් වීදියේදී ය ”, “හදබිම උමාවේ දියකර ”,“දුම්බර නඩුව”වැනි නිර්මාණ මෙයට අපූරු උදාහරණයෝය.

එතැන අවුරුදු සීයකට ඉස්සර

මහා ලුණුවරණ ගහ ළඟ

කවුරු හරි මිනිහෙක්

"දැන් නම් එයා මැරිලා"

මුලින්ම හදන්න ඇති මේ පිහිල්ල

දිය හරිම සීතල

(කිතුල්දෝවේ පිහිල්ල පි. 06)

 

කෙත් බිම් පැලී විවරව

දිසුනි ලොහොකුඹුවද

සුනිල උල්පත්වල දිය

සොරාගත් සඳ රකුසුතෙම

දෙව් බඹුන බවුසර

දොර දොර දෙමින දන්සල

(හද බිම උමාවේ දිය කර පි. 22)

ලසන්තගේ කාව්‍ය නිර්මාණවල දැකිය හැකි තවත් ලක්ෂණයක් වන්නේ ඔහු භාෂාවෙන් අත්දැකීම් සිත්තම් කිරීමට දක්වන සමත්කමයි. කවියාගේ සුවිශේෂ මාධ්‍යය භාෂාව වනවා සේම භාෂාව භාවිතා කරමින් රසිකයාගේ පරිකල්පනීය ලෝකය පුළුල් කරන්නට ඔහු සමත් විය යුතුය. ලසන්තගේ බොහෝ නිර්මාණවල මේ ගුණය දකින්නට ලැබේ. “මස්කඩේ ෆාතිමා”, “පැලවත්තේ දීය”. “සන්ධ්‍යාවෙහි වර්ණ” හි මේ ගුණය මනාව දකින්නට ලැබේ.

සියඹලා කොටය මත

ලෙලෙන පිහියක මුවහත

කවර නම් දෙයක් වුව

රෝස මල් පෙති බවට හරවන විට

ඇත්තමයි, ඒ ඔබේ සුරතම නම්

ආසයි මං ඒ ශෘංගාරයට

හදිසියක් නෑ කොහෙත්ම

සල්වාරය විනිවිද දකින

හැම නැම්මකම කලාවක් ඇත.

(මස් කඩේ ෆාතිමා පි. 08)

ලසන්තගේ නිර්මාණකරණයේ අප දකින සුවිශේෂම ලක්ෂණය වන්නේ ඔහු සැබෑ සමාජ දේශපාලන හා ආර්ථික කාරණා මඟහැර නොයෑමයි. ඔහු ඒවාට සංවේදී වේ. නමුත් හුදෙක් කඳුළු සලමින් නොසිටී. ඒවායේ ඇති සමාජ දේශපාලන ප්‍රතිවිරෝධතා විනිවිද යයි. ඒවා සමඟ නිර්මාණාත්මකව ගැටෙයි. පොදු සමාජයටද ඒවායේ අඳුර ආලොකවත් කර පෙන්නා දෙයි. “සියොත් අත්තටු සිඳුන තැන එතැන”, “දුම්බර නඩුව”, “දළු නෙලන ලිය”, “බර වැඩි මිරිවැඩි”, “හිමිසඳ අහිමි වූ ලඳ” වැනි නිර්මාණ මෙවැනි සමාජ දේශපාලන කාරණා කෙරෙහි ලසන්තගේ සංවේදී බව මොනවට කියාපායි.

පුතේ බලපං දාලම

මිම්ම හරිද පොඩි කකුලට

බොංචි කෝටු වික්ක ගමන්

මං ගියා ටවුමට

අලුත් මිරිවැඩි යුවලක

අලුත් හිනාවක් අඳින හැටි අම්මා

කකුලෙ මිම්මට හැදුව වාගෙයි

දන්න හැටි අම්මලා ඒ ගැන

මිදුලෙ වැලිකැට පෑගෙන සද්දෙට

මල්හිනා අම්මාගේ ඇස්වල

(බර වැඩි මිරිවැඩි පි.2 සහ 3)

ලසන්තගේ නිර්මාණ තුළ අප දකින පොදු අඩුලුහුඬුකම වන්නේ බොහෝ නිර්මාණ අවසනයේ රසිකයාගේ සිත තියුණු කම්පනයකට ලක් නොකිරීමයි. අප බොහෝ විට විශ්වාස කරන්නේ ඕනෑම නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ තියුණු කම්පනයක් ජනිත විය යුතු බවයි. ඒ අන් කිසිවක් නිසා නොව රසිකයා ජීවිත පරිඥානය ලබන්නේ මෙම කම්පනය මතින් සිය ජීවිතය සංස්කරණයට පෙළඹෙන බව විශ්වාස කරන බැවිනි. නිර්මාණය නිමා වුවද රසිකයා ඒ නිර්මාණය ඔස්සේ වඩා යහපත් සමාජ ජීවිතයක් යන කාරණය ලුහුබැඳ යන්නේ එවිටය.

‍කෙසේ වෙතත් ලසන්ත තම පළමු පද්‍ය නිර්මාණ එකතුවෙන්ම තමන් ස්ථානගත කරගන්නා තැන ගැන අපට උපදින්නේ ආදරයකි. ගෞරවයකි. ඒ අන් කිසිවක් නිසා නොව සාහිත්‍ය කලාව ඉටුකළ යුතු සමාජ කාර්යය අමතකව ගොස් එය හුදු විනෝදායන මාර්ගයක් බවට පමණක් ලඝු කොට එයම උත්කර්ෂයට නඟන සමාජ වටපිටාවක අප සියලු දෙනා වර්තමානයේ ජීවත් වන බැවිනි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා