ගුරු පෑවත

 ඡායාරූපය:

ගුරු පෑවත

විද්‍යාව

 

 

සෝඩියම්

හ්ම්

'මම ක්ලෝරීන් වෙමි'

ඉතින්?

නුඹේ අවසන් කවචයේ

නිදහස් එක ඉලෙක්ට්‍රෝනයකි

ඔව්,

නුඹ ඒක සංයුජ ධන අයනයකි.

ඔව් ඉතින්?

මම අවසන් කවචයේ

ඉලෙක්ට්‍රෝන හතක් දරා සිටිමි

හ්ම්!

'මම ඒක සංයුජ සෘණ අයනයකි'

ඉතින් මට කුමක් කරන්නද ඔබ කියන්නෙ?

අපේ හඳහන් මනාව ගැලපී ඇත

ඉතින්?

අනේ අපි එක් වෙමු සෝඩියම්

අපට ස්ථායි අනාගතයක් ඇති බැවිනි

 

[සිරිසේන මුදියන්නෑගම]

පලවැල කෘතිය

------------------------------------------------------------

 

 

ගුරු අම්මා

 

ළහිරු කැන් දිගහැරෙන

සුබ උදෑසන පිපුණ

ඔසරි පොට අස නිතොර

දැවටී පා පිරිවරින

කෝපි මල් හස රැගෙන

අත් අකුරු පෙළ ගසන

දොවා සනහස නිබඳ

සිඟිති හිත පිරිමදින

අකුරු ඇහිඳින නෙතට

පහන් සිල සේ රැඳෙන

සිප් කිරෙන් බර ළමැද

දහක් කුසකට නිවන

සිඟිති හොට නිති හඬන

හිත් රිදුම් පිස දමන

නුග සෙවණෙ රැකවරණ

මවක සලකුණු පුදන

සුපුෂ්පිත හෙට දිනෙක

මල්බරණ පළඳිනට

කැකුළු දරු සිත් අවට

පිරිත් පැන් පොද ඉසින

මල් පලාපල දිලී

ලොව සුවඳ කරන දින

පසෙක වී නිහඬවම

හස කැලුම් දිග හරින

ළෙහි හොවා නොවැඩුවද

උන් දුකට නිති සැළෙන

දහක් දරු කුස් දැරූ

ලොවට අම්මා නුඹය.

 

[කිත්සිරි කොතලාවල]

ගම සඳ මතක කෘතියෙනි

 

------------------------------------------------------------

අපේ ගුරුතුමා නෑවිත්

 

මහලු වූ මැටි බරු

දෙදරා ගොස්ය සංකා ස්වරවලට

ඇස් සරසා ගත් දරු පැටවු පමණයි

කණවැන්දුම් පන්ති කාමරේ අවටක

හුදෙකලා වූ ගුරු මේසයට

තනි රකිනවා විය හැකිය

ෆාතිමා ගෙන ආව

දෙයියන්ගෙ ලෙඩ හැදුණු

දාස්පෙතියා මල් මිටි

 

ගෙවුණ හුණු කූරු

හැඩහුරුකම් කියයි

බෙලි කැඩුණ වෙඩි උණ්ඩවලට

වැටී තැන තැනම

හෙණ වැදුණු කළුලෑල්ල පාමුලද

 

මද කිපුණු හිරු එළිය

මිදී පන්තියේ තල් අතු සෙවිලි මත

ඉරුණු තැන් මෑත් කර

එබෙයි හිස්ව ගිය ගුරු පුටුවට

සිනාසී කට කොනින් නක්කලේට

 

මුවා වී ඉඳි ගල් පරපුරට

දේවදාසියන් කියන යාඥා හඬ

හැඩි කරයි මුඩු සුළඟ

මන්නාරමෙන් නැඟෙන

 

දණ්කුඩෙන් කුස නිවූ අරුන්දතිය

පන්තියේ කොනකය

නාවර පෙරුණු කම්මුල්

නෙතඟින් තෙත් කරන

සුසුමකට පුපුරා ගිය

සිප්පිකටු පාවඩ ඇතිරූ

ගුරුතුමා යනෙන මඟ ඈත

වැලි කන්දකින් නැඟෙන

දුමාරය දැක දැක

 

[ඩොමිනික් චන්ද්‍රසාලි]

ගාලු පාර දිග හැලුණ සිනා සළු කෘතියෙනි

 

 

 

 

 

 

 

 

 

News Order: 
3
මාතෘකා