සමාජ මාධ්‍ය හරහා පැතිරෙන වෛරසය

සමාජ මාධ්‍ය හරහා පැතිරෙන වෛරසය

මෙරටදී වාර්තා වූ පළමු කොරොනා අාසාදිතයා සඳුදා දිනයේ හමු විය. චීන ජාතික කාන්තාවක් වන ඇය මේ වන විට අයිඩීඑච් උණ රෝහලේ වෙනම ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියි. ඒ බව වසංගත රෝග විද්‍යා ඒකකය නිල වශයෙන් තහවුරු කර ඇත. නව කොරොනා වෛරසය ශරීරගත වූ බවට සැක කළ සිව් දෙනකු මීට පෙර රෝහල්ගත කෙරුණු බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කර තිබිණි. නමුත් එම රෝගීන් නිශ්චිතවම කොරොනා අාසාදිතයන් බව සමාජ මාධ්‍ය වාර්තා කිහිපයක පළවිය. මේ පුවත ඉතා වේගයෙන් වට්ස්ඇප් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල පැතිර ගියේය.

වෛරසය පැතිර යෑමේ වේගය අධික බැවින් සහ මේ වන විටත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බැවින් කොරොනා පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු විය යුතුය. ඒ පිළිබඳ තර්කයක් නොමැත. නමුත් සත්‍ය තොරතුරු විකෘති කරමින් සහ අලුත් බොරු මවමින් කොරොනා පිළිබඳ ව්‍යාජ බියක් මැවීම මේ වන විට සිදුකෙරෙමින් පවතින බරපතල අපරාධයකි. දැවැන්ත මූල්‍ය අර්බුධයකින් මිදීමට උත්සාහ කරමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටක එදිනෙදා ජන ජීවිතයට බලපෑම් එල්ල වන ඕනෑම සිදුවීමකින් දැවැන්ත පාඩුවක් සිදු වේ. අනිසි බියක් මතු කිරීමට උත්සාහ කිරීමෙන් සහ රෝගයෙන් බේරීමට උත්සාහ කරන මහජනයා නොමඟ යවන ලෙස කටයුතු කිරීමෙන් ඔවුහු ජන ජීවිතයට බාධා කරති.

මේ අතර එක්තරා ජාතික පුවත්පතක මුල් පිටුවේ පුවතකින් ආවරණ පැලඳිය යුතු ආකාරය ගැන උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව අාසාදිතයකු සහ ආසාදනය නොවූ අයකු ආවරණය පැළඳිය යුත්තේ එකිනෙක වෙනස් අකාරයටය. නමුත් නිවැරදි ක්‍රමය නම් අාසාදිත, ආසාදිත නොවූ සියලු දෙනාම ආවරණයේ වර්ණ ගැන්වූ (බොහෝ අවස්ථාවල නිල් පැහැ ගැන්වූ) පැත්ත ඉදිරියට පෙනෙන ආකාරයට පැලඳිය යුතුය. මෙහිදී හෙළි වූයේ එම පුවත පෙර දින සමාජ මාධ්‍යවල සංසරණය වූ තහවුරු නොකළ පුවතක් බවය.

මෙලෙස ව්‍යාජ පුවත්, තහවුරු නොකළ / අනුමාන තත්ත්වයේ ඇති පුවත්, විකෘති කරන ලද සත්‍ය තොරතුරු දිනපතා සමාජ මාධ්‍ය හරහා පළවෙමින් පවතී. එවන් සමහර පුවත් ප්‍රධාන ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහාද ඉඩක් වෙන් කර ගැනීම ඛේදනීය තත්ත්වයකි. සත්‍ය තොරතුරු පවා අනවශ්‍ය කලබල ඇතිවන ආකාරයෙන් උලුප්පා දක්වමින් වැඩිපුර ලයික්, ෂෙයාර්, එන්ගේජ්මන්ට් සහ රීච් ලබා ගැනීම මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී කිසිසේත් උචිත නොවේ.

මෙවැනි ලෝක ව්‍යාප්ත බෝවන රෝගී තත්ත්වයක් ගැන මහජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය කදිම තෝතැන්නක් බවට විවාදයක් නැත. නමුත් ඒ හරහා නිවැරදි නොවන පුවත් ඉස්මතු වීමෙන් සිදුවන්නේ අවධානයට යොමුවිය යුතු සත්‍ය තොරතුරු යටපත් වීමකි.

මේ තත්ත්වය වැළැක්විය හැක්කේද සමාජ මාධ්‍ය හරහාය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිටු සහ සමූහ ඇඩ්මින්කරුවන්ද 'ෆලෝවර්ස්' දහස් ගණනක් සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද ස්වයං විනයක් පවත්වා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යය. එමෙන්ම සැරිසරන ව්‍යාජ පුවතක් වහාම නිවැරදි කිරීමේ හැකියාවද ඔවුන් සතුය.

කොරොනා වෛරසය සහ මෙරටදී එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව නිල වශයෙන් තොරතුරු දැනගත හැකි ෆේස්බුක් පිටුවක් 'සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය' විසින් පවත්වාගෙන යයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල මාධ්‍ය නිවේදන නිකුත් කරන අතර මාධ්‍ය හමු සංවිධානය කරයි. එවැනි නිල මූලාශ්‍ර හරහා ලැබෙන පුවත් පමණක් එකිනෙකා සමඟ බෙදා ගැනීම ඩිජිටල් පුරවැසි පරම්පරාව සතු අත් නොහැරිය හැකි කාලීන වගකීමකි.

මාතෘකා