විදෙස් වසංගත හමුවේ සූදානම

විදෙස් වසංගත හමුවේ සූදානම

කොරොනා වෛරසය මේ වන විට චීනය වුහාන් ප්‍රාන්තයෙන් ඇරඹී ලොව පුරා පැතිර යමින් ඇත. වෛරසය පිළිබඳව තිබූ පුරෝකථන බොහොමයක සඳහන් වූ පරිදිම එහි පැතිරීම වේගවත්ය. එමෙන්ම මාරාන්තිකය. වවුලන්, සර්පයන්, බළලුන් වැනි සත්ත්ව විශේෂ අතර පැතිරෙන මෙම වෛරසයේ මිනිස් සිරුරට අනුවර්තනය වූ ප්‍රෝටීනයක් හේතුවෙන් මෙය මනුෂ්‍ය සංහතියට තර්ජනයක් වන තත්ත්වයට පත්ව ඇත. එහි ස්වභාවය පිළිබඳ පරීක්ෂණ මේ වන විට කඩිනමින් සිදු වෙමින් පැවතියද වෛරසය දුර්වල කළ හැකි මට්ටමේ ප්‍රතිකර්මයක් මේ වනතුරු සොයාගෙන නොමැත.

ලෝක ආර්ථික බලවතා වන චීනය ලොව පුරා සෑම රටකටම දැඩි බලපෑම් කළ හැකි මට්ටමේ සිටින රටකි. ආර්ථික, දේශපාලන බලපෑම් පමණක් නොව ලෝක ජනතාවගේ සෞඛ්‍යය කෙරෙහිද ඔවුන්ට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව කොරොනා වෛරසය පෙන්වා දෙයි. විශේෂයෙන් චීනය සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වන ශ්‍රී ලංකාවට මෙම වෛරසය හරහා එල්ල විය හැකි බලපෑම අති විශාලය. දූපත් රාජ්‍යයක් වුවද අප විශ්ව ගම්මානය තුළ දේශ සීමා රහිත රාජ්‍යයකි. සංචාරක කර්මාන්තය මෙන්ම රැකියා අවස්ථා සඳහාද චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් ගණන විශාලය. එමෙන්ම අධ්‍යාපන සහ ව්‍යාපාරික අවස්ථා සඳහා මෙරට සිට චීනයට යන අධික පිරිසක් ඇත.

නිල දත්ත අනුව පමණක්, වෛරසය මිනිසාට මුලින්ම ආසාදනය වූවා යැයි සැලකෙන වුහාන් ප්‍රාන්තය තුළ ශ්‍රී ලාංකිකයන් තිස්තුන් දෙනෙක් අධ්‍යාපනය ලබති. නමුත් සැබෑවටම වුහාන් තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගණන ඊට වඩා බෙහෙවින්ම වැඩි බව වුහාන්හි කලක් ජීවිත වූ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. මේ වනවිට එම ප්‍රාන්තය බාහිර ලෝකය සමඟ පැවැත්වූ සියලුම භෞතික සබඳතා අත්හිටුවීමට චීන රජය කටයුතු කර ඇත. ඒ වෛරසය පැතිර යෑම පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙසිනි. එසේ වුවත් මේ වන විට දෙදහසකට ආසන්න පුද්ගලයන් ගණනකට කොරොනා වෛරසය ශරීරගතව ඇති බව කියැවෙන අතර ඉන් සුවය ලබා සිටින ගණන 50කට අඩු පිරිසකි.

කොරොනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් මෙරටින් වාර්තා වන්නටත් පෙර ශරීර උෂ්ණත්වය ස්කෑන් කර රෝගීන් හඳුනාගැනීමට හැකි ආකාරයේ ස්කෑන් යන්ත්‍ර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීමට රජය පියවර ගැනීම පැසසිය යුතු ක්‍රියාවකි. එමෙන්ම රෝගී වූ ගුවන් මගීන් හඳුනාගෙන නිසි ලෙස ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ ක්‍රියාවලියක්ද ශ්‍රීලන්කන් ගුවන් සේවය වහා ආරම්භ කර ඇත. එමෙන්ම චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විධිවිධාන යොදන ලෙස ජනපතිවරයා නියෝග කර තිබේ. කොරොනා වෛරසය ශරීරගතව ඇති බවට සැක පිට රෝහල්ගත කළ ශ්‍රී ලාංකිකයන් හට කොරොනා වෛරසයෙන් බලපෑමක් සිදුව නැති බව මේ වන විට තහවුරුව ඇති පසුබිමක මෙලෙස රජය වගකීම්සහගතව ක්‍රියාත්මක වීම යහපත් වෙනසකි. ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදු වූයේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමය.

මෙවැනි විදෙස් වසංගත අවස්ථාවකදී අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව නිරවද්‍ය නිල දත්ත අප සතුව නොමැති වීමයි. මෙය මෙවරද අප මුහුණ දෙමින් සිටින ගැටලුවකි. ඒ සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීමට මෙවර රජයේ අවධානය යොමු වීම වඩා සුදුසුය. ස්වාභාවික ආපදාවකදී, හදිසි යුදමය තත්ත්වයකදී පවා මෙම දත්ත ප්‍රයෝජනවත්ය. චීනයේ ජනප්‍රිය 'වී චැට්' සන්නිවේදන යෙදවුම හේතුවෙන් මෙම අර්බුද අවස්ථාවට මුහුණදී සිටින මෙරට සිසුන් ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී තිබේ. සන්නිවේදන තාක්ෂණය අතිශයින් දියුණු මෙම යුගයේ ඊටත් වඩා ඵලදායි සහ විධිමත් ක්‍රමවේද ඔස්සේ දත්ත එක් රැස් කරගැනීමට කටයුතු කරනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.

මාතෘකා