මහපොළ අරමුදල, හිඟ මුදල සහ මනුෂ්‍යත්වය

මහපොළ අරමුදල, හිඟ මුදල සහ මනුෂ්‍යත්වය

මහපොළ ශිෂ්‍යාධාර නියමිත වේලාවට නොලැබීමේ ගැටලුවට විසඳුමක් ලැබී තිබේ. 22 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අනාවරණය කළේය. මේ අනුව ඔක්. නොවැ. සහ දෙසැම්බර් මාසවලට අදාළ හිඟ මුදල වන රු.මි. 425ක මුදල මහපොළ අරමුදලට ලබාදීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් පියවර ගෙන ඇතැයි ඇමතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය ව්‍යාපාරය හඬ නැඟූ බව ඇමතිවරයා සිහිපත් කළේය. මහපොළ අරමුදල වැනි ශක්තිමත් අරමුදලක, සිසුන්ට නියමිත පරිදි වාරික ගෙවීමට නොහැකි වන පරිදි අර්බුද ඇති වී තිබීම කනගාටුවට කරුණකි. අනෙක් අතින් ගත් විට හැමදේටම අරගල කරන ශිෂ්‍ය ව්‍යාපාරය මහපොළ අරමුදල නිර්මාණය වූයේ කෙසේද හා එහි නිර්මාතෘවරයාගේ අරමුණ වූයේ කුමක්ද යන්න පිළිබඳ හරි අවබෝධයකින් කටයුතු කරන්නේද යන ගැටලුව ඇති වෙයි.

නවකවදය නිසා මෙතෙක් සරසවි හැරගිය සිසුන්ට නැවත අවස්ථාව ලබා දීම සඳහා උසස් අධ්‍යාපන ඇමතිවරයා මෑතදී ගත් තීන්දුව විශිෂ්ටය. ඒ වනාහී මෙතෙක් නිහඬව දිගු කලක් තිස්සේ රට තුළ සිදු වූ මහා අපරාධයකට ගොදුරු වූ වින්දිත පාර්ශ්වයකට යුතුකම් ඉටු කිරීමේ නිර්භය තීන්දුවකි. මහපොළ ප්‍රමාදය නිසා උඝෝෂණය කරන ශිෂ්‍ය සංගම් මහපොළෙන් බත්පත කමින් කරන කටයුතු ගැනද සමාලෝචනයක යෙදීම වැදගත්ය. නවකවදය නිසා මියගිය සිසුන් ගැන ශිෂ්‍ය සංගම්වලට වගේවගක් නැත. මේ අශිෂ්ට සම්ප්‍රදාය නැවැත්වීම සඳහා ඔවුහු ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකරති.

පේරාදෙණිය සරසවියෙහි කුලියට නවාතැන්ගෙන නවකයන්ට වද දෙන වදකාගාරයක් පවත්වාගෙන ගිය ඊනියා ශිෂ්‍ය සංගම් සාමාජිකයන් රෑ පුරා සකස් කළ පෝස්ටර දැකගත හැකි වූයේ එහි කඩාවැදුණු සරසවි බලධාරීන්ටය. තමන් වද විඳිමින් අනුන්ටද වද දෙන හිංසකයන් උපාධි අපේක්ෂකයන් බවට පත් වූ රටක උසස් අධ්‍යාපනයෙහි අරුතක් තිබේද? වසරකට සියගණනක් සිසුන් නවකවදය හා වෙනත් හේතු නිසා සරසවිය හැර යන රටක ඊනියා ශිෂ්‍ය සංගම් තම ගොඩ වැඩි කර ගැනීම සඳහා නවක වදය පවත්වාගෙන යෑම ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමකි.

මීට වසර කිහිපයකට පෙර පේරාදෙණිය සරසවියේ ගොඩනැගිල්ලක් දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් නම් කෙරිණ. ඊනියා ශිෂ්‍ය සංගම් එයට එරෙහි විය. මහපොළ ශිෂ්‍යාධාරයෙන් බත්පත කන බුද්ධිහීනයන් පිරිස කළ ක්‍රියාව ගමේ වචනයෙන් කිව හොත් කෑ පතේ පැහැරීමය.

මහපොළ නිර්මාණය කළේ ලලිත් ඇතුලත්මුදලි මහතාය. ඔක්ස්පර්ඩ් සරසවියෙන් නීති උපාධිය හැදෑරීම සඳහා ඇතුලත්මුදලි සිසුවාට අවස්ථාව ලැබුණේ දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ අත දීම නිසාය.

නීති විෂයෙහි පශ්චාත් උපාධිධරයකු වූ ඇතුලමුදලි මහතා තමාට ලැබුණු සහයෝගය උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන අනාගත පරපුරට ලබාදීම පිණිස මහපොළ අරමුදල ගොඩ නැගුවේ ඇමතිවරයකු හැටියටය. ඒ අරමුදලෙන් ශිෂ්‍යාධාර ලැබ මෙතෙක් උපාධි ලබාගත් පිරිස හය ලක්ෂය ඉක්මවයි.

මේ කටයුත්තෙහි ඇති සද්භාවය නිසා සෑම රජයක් යටතේම වැඩපිළිවෙළ ඉදිරියට යයි.

එහෙත් ශිෂ්‍යාධාර ලැබූවන් හා ලබන්නන් දේශපාලකයන් තරමටවත් එහි වටිනාකම පිළිබඳව සංවේදී වී තිබේද යන්න ගැටලුවකි.

දැනුම ඇති පුද්ගලයන් බිහි කිරීම දුෂ්කරය. කෘතවේදිත්වය ඇති උගතුන් බිහි කර ගැනීම ඊටත් වඩා දුෂ්කරය.

නවක වධය නමැති අශිෂ්ට සම්ප්‍රදාය නැවැත්වීම සඳහා උසස් අධ්‍යාපන ඇමතිවරයා ගෙන ඇති තීන්දුව කාලෝචිතය. මහපොළ ලබා ගැනීමට දක්වන උනන්දුව තරම්ම උනන්දුවක් අශිෂ්ටත්වයෙන් මිදීම සඳහා ඇති කර ගැනීම නවකවදලෝලී සිසුන්ගේ වගකීමය.

මාතෘකා