බලශක්ති අර්බුදයට සූදානම්ද?

බලශක්ති අර්බුදයට සූදානම්ද?

රටක සංවර්ධනය යනු බොහෝ පැතිකඩ ඔස්සේ විමසා බැලිය යුතු මාතෘකාවකි. එහිදී සමාජ, ආර්ථික, සදාචාර, සංස්කෘතික, මානව සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනයද ප්‍රධාන අංගයකි.

භෞතික සංවර්ධනයේදී බල ශක්තියට හිමි වනුයේ වැදගත් ස්ථානයකි. පසුගිය දශකයේදී මෙරටේ ජල විදුලි බලය හා බලශක්ති සංවර්ධනය උදෙසා ගනු ලැබූ තීරණ ගණනාවක් ඇත. එහෙත් එම තීරණ; දේශපාලන සහ වෙනත් බලපෑම් නිසා නිසි පරිදි ක්‍රියාත්මක නොවුණි. මේ හේතුවෙන් දිනෙන් දිනම රටේ බලශක්ති අර්බුදය උග්‍ර වන බව පෙනෙන්නට තිබේ.

මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවන්ට අනුව සෑම වර්ෂයකම මෙරට විදුලි පරිභෝජනය මෙගාවොට් 150 – 200කින් වැඩි වේ. එය මෙරට සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5කට ආසන්න ප්‍රතිශතයකි. මහජන උපයෝගිතා කොමිසම විසින් 2017 ජූලි මාසයේදී අනුමත කර ඇති වසර 20ක විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුමට අනුව ස්වාභාවික බලශක්තිය උපයෝගි කරගෙන විදුලිය නිපදවිය හැකි බලාගාර රැසක් ගොඩනැඟිය යුතු බව යෝජනා කර ඇත.

1950 සිට 1990 දක්‌වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යෑමට හැකිවූයේ ප්‍රමාණවත් ලෙස ජල විදුලි බලාගාර තිබූ නිසාය. නමුත් වේගයෙන් ඉහළ යන බලශක්ති අවශ්‍යතාවට සරිලන සැපයුමක් දීමට එම බලාගාර අසමත් විය. ජාතික විදුලි බල පද්ධතියට එක්වූ ගල් අඟුරු සහ ඩීසල් විදුලි බලාගාර මේ වන විට රටේ විදුලි බල අවශ්‍යතාවෙන් වැඩි කොටසකට වග කියයි. එසේ වුවත් පසුගිය දශක දෙකක කාලය තුළ සිදු වූ දේශගුණ විපර්යාස හේතුවෙන් ජල විදුලි බලාගාර පවා අපේක්ෂිත මට්ටමට ප්‍රතිඵල නොදන තත්ත්වයකට පත්ව තිබේ. එමෙන්ම පොසිල ඉන්ධන 2050 වසර වන විට දැඩි හිඟතාවකට මුහුණ දෙන බැවින් ගල් අඟුරු බලාගාර ගැනද විශ්වාසය තැබිය නොහැක.

අනාගත බල ශක්ති අරබුදයේ තවත් පැතිකඩක් නිර්මාණය කරන්නේ ඛනිජ තෙල් පරිභෝජනයයි. විශේෂයෙන් මෙරට සමස්ත ඉන්ධන පරිභෝජනයෙන් සියයට 30ක ප්‍රමාණයක් පමණක් රට තුළ පිරිපහදු කරන තත්ත්වයකදී මෙය වඩාත් උග්‍ර වේ. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස මෙරට විශාලතම තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ලබන වසරේ ඇරඹීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මෙය කෙටි කාලීන විසඳුමක් වුවද කාලීන අවශ්‍යතාවකි. නමුත් දීර්ඝකාලීන විසඳුම් සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවක් පවතී. විවිධ යුගයන්වලදී පුවතක් බවට ඉස්මතුව ක්‍රමයෙන් වියැකී ගිය මෙරට ඛනිජ තෙල් නිධි ගැන කතාව හුදු පුවතක් ඉක්මවූ වැඩපිළිවෙළක් බවට පත් කළ යුතුව ඇත.

මෑතකාලීනව ලෝකයට ලැබී ඇති තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන ප්‍රමාද නොවී පුනර්ජීවී බලශක්තිය ශ්‍රී ලංකාව තුළ නිපදවීමේ දැවැන්ත වැඩපිළිවෙළකට උපරිම සහයෝගය හා දායකත්වය ලබා දීම අපේ පරම්පරාවේ යුතුකමකි. 2050 වන විට වාතයට නිරාවරණය වන කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය ගිගා ටොන් 42,000ක් බවට විශේෂඥයන් විසින් අවධාරණය කර ඇත. එසේ නම් බහුතර ව්‍යාපෘති පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදය දිශාවට යොමු විය යුතුය. විශේෂයෙන් සූර්ය‚ සුළං‚ සාගර‚ පොළොව තුළ උෂ්ණත්වය හා කසළ මඟින් බලශක්ති ජනනය කරන ව්‍යාපෘති ආදිය දිරිමත් කිරීම වැදගත්ය.

කොළඹ අවට ඉදිවන මහා පරිමාණ ගෙඩනැඟිලි හා ව්‍යාපෘති මෙන්ම මුහුද ගොඩකර සාදන පෝර්ට් සිටි (Port City) වැනි ව්‍යාපෘති තුළින් රැකියා වැඩිවීම හා රට පොහොසත් වී ලෝකයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වීම වැඩි ඈතක නොවේ. නමුත් එම කාලය තුළ බල ශක්තිය සැපයීම සංවිධානාත්මකව සහ අනාගත දැක්මක් සහිතව සිදුවිය යුතුය.

මාතෘකා