වර්ජන රැල්ල පිටුපස කතාව

වර්ජන රැල්ල පිටුපස කතාව

වැඩ වර්ජනවල මූලික අරමුණ වන්නේ සේවක අයිතීන් දිනා ගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ශිෂ්ට සම්පන්න කිසිදු සමාජයකට එම අයිතිය ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් එම අයිතියම අවභාවිතයෙහි යොදන අවස්ථාද තිබේ. එහිදී සිදු වන්නේ අවස්ථාවාදී කල්ලිවල කූටෝපක්‍රමවලට හසු වීමය. එය දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද සිදු විය හැකිය.

2015දී පත් වූ ආණ්ඩුව ඉතිහාසයේ කිසිදු අවධියක නොතිබූ අන්දමේ වර්ජන රැල්ලකට මුහුණ දුන්නේය. මේ ඇතැම් වර්ජන සාධාරණ පසුබිමක් මත ඇති වූ ඒවාය. එහෙත් එයින් වැඩි හරියක් දේශපාලන අවස්ථාවාදීන්ගේ මනදොළ සපුරන ඒවා බව හැඳින්වීමට ඕනෑ තරම් කරුණු තිබේ. මේ වර්ජන රැල්ල සමාන කළ හැක්කේ 1970 දශකයේ මහජන ඡන්දයෙන් චිලියේ සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවූ සැල්වදොරේ ඇලන්ඩේ මුහුණ දුන් වර්ජන රැල්ලටය.

2015දී බලයට පත් වූයේ සමාජවාදී ආණ්ඩුවක් නොවේ. එහෙත් එය ඉතිහාසයේ නිහඬ විප්ලවයක් බඳු අසිරිමත් ආණ්ඩු වෙනසකි. එහිදී ප්‍රධාන ජනතා අපේක්ෂා හැටියට ඒකාධිපතිත්වයට තල්ලු වූ ආණ්ඩුව පැරදවීම, බලයේ සිටි ජාතික ධනය කොල්ලකන දේශපාලන පවුල එළවා දැමීම, අපරාධකරුවන්ට දඬුවම් දීම, මාධ්‍ය නිදහස තහවුරු කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනාදී වශයෙන් කරුණු ගණනාවක් විය.

ආපසු හැරී බලන විට ජනතා අපේක්ෂා මුළුමනින්ම ඉටු වී යැයි කිව නොහැකි වුවද සමහර කරුණු අතින් සතුටු විය හැකි මට්ටමක පවතී. ඉන් ප්‍රමුඛ වන්නේ හතර වැනි ආණ්ඩුව හෙවත් ජනමාධ්‍යයට ලැබුණු නිදහසයි.මේ නිදහස කෙතරම් පුළුල්ද යත් එයින් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේද කිරුළ අහිමි වී සිටි පරාජිත බලවේගයි. පෙර අවධියෙහි මෙන් මාධ්‍යවේදීන් මරා දමන, මාධ්‍ය ආයතන ගිනි තියන, මාධ්‍යවේදීන්ගේ අතපය කඩන, මාධ්‍ය ආයතන බලෙන් අල්ලන දේශපාලන කුපාඩිකම් සිදු නොවූ හෙයින් ඇතැම් ජනමාධ්‍යවලට ව්‍යාජ පුවත් මවා රට ගිනි තැබීමේ අවස්ථාවද ලැබිණ. ‘සාෆි නාඩගම’ යනු එසේ නටන ලද එක් නාඩගමක් පමණි. මේ සියල්ල බලය අහිමි වූවන්ගේ දේශපාලන උප්පරවැට්ටිය.

ඇතැම් වර්ජන පිටුපසද හොල්මන් කරන්නේ මෙකී දේශපාලන අවතාර බව පෙනේ. උදාහරණයක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්විය හැකිය. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි බහුජාතික සමාගම් මාෆියාවට එරෙහි වත්මන් රජය කර ඇති වැඩ කොටස ජනාධිපතිවරයාගේද ප්‍රශංසාවට ලක් වේ. රෝගීන්ගේ යහපත වෙනුවන් ගෙන ඇති ඇතැම් තීන්දු සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ද සතුටු විය යුතුය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මෙය නොපෙනේ. පැවැති රජයේ මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රසිද්ධියේ කථා කරන සෑම අවස්ථාවකින්ම පසුව රෙජිමයේ ජුන්ටා කණ්ඩායම් වීදි බැස යකා නටති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ රජය සමඟ පසුවන්නේ බද්ධ වෛරයකින් බව මාධ්‍ය හමුවලදී ඔවුන් කරන ප්‍රකාශවලින්ද පෙනේ. මෙය ඔවුන්ගේ වෘත්තීය ආචාර ධර්ම පරීක්ෂා කර බැලීමේ අවස්ථාවකි.

චිලියේ සැල්වදොරේ ඇලන්ඩේගේ නායකත්වයෙන් යුතු ළදරු සමාජවාදී ආණ්ඩුව බිත්තරයක් මෙන් කුඩු කර දැමීමට පිනෝචේ ප්‍රමුඛ මිලිටරි ජුන්ටාව සමඟ අවස්ථාවාදී කල්ලි අත්වැල් බැඳ ගත්හ. බලයෙන් පහ කරන ලද ඇලන්ඩේ සහ ඔහුට සහාය දුන් වික්ටර් හාරා ඇතුළු ශ්‍රේෂ්ඨයන්ට අත්වූයේ බිහිසුණු මරණයකි. ඉන්පසු ජන ඝාතක මිලිටරි ජුන්ටාව මිලිටරි පාලනයක් ඔස්සේ චිලී දේශයේ නිදහස මළගම් යැවීය.

2015දී බලයෙන් පහවන්නට පෙර මිලිටරි අනුහස උරගා බැලූ කල්ලිය නැවත බලය අල්ලා ගතහොත් චිලී දේශයට වඩා දරුණු තත්ත්වයකට මෙරට ජනයා මුහුණ දෙනු නිසැකය. එනිසා වර්ජන රැල්ල මෙන්ම ව්‍යාජ පුවත් මවන මාධ්‍ය රැල්ලද පිළිබඳ සබුද්ධිකවීම ජනතාවගේ ශරීර සෞඛ්‍යය පැත්තෙන් යහපත් බවට දැන්ම තියා අනතුරු අඟවමු.

මාතෘකා