සාහිත්‍යය සහ මනුෂ්‍යත්වය

සාහිත්‍යය සහ මනුෂ්‍යත්වය

මේ සාහිත්‍ය මාසයයි. විවිධ සාහිත්‍ය උත්සව පැවැත්වෙයි. සම්මාන උලෙළ ඒ අතර ප්‍රධානය. 1959 වසර සිට අඛණ්ඩව පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සවයට අමතරව වත්මනෙහි විද්‍යෝදය, ගොඩගේ, රජත පුස්තක සහ ස්වර්ණ පුස්තක සම්මාන පිරිනැමෙයි. පසුගිය වසරේ පළවූ නවකතා අතරින් විශිෂ්ටතම නවකතාවට රු. ලක්ෂ හතහමාරක මුදල් ත්‍යාගයක් සමඟ සම්මාන පිරිනැමෙන ස්වර්ණ පුස්තක සම්මානය මේ අතරින් ප්‍රධාන වෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙය පවත්වනු ලබන්නේ ජාත්‍යන්තර පොත් සල්පිල ආරම්භ කිරීමට සමගාමීවය.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තේ කපිල කුමාර කාලිංග ලියූ ‘අදිසි නදිය’ නවකතාවයි. කවිය, ගීතය, වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය, ගුවන් විදුලි නාට්‍යය, නවකතාව, කෙටිකතාව, වෙළෙඳ දැන්වීම් කලාව, පුවත්පත් කලාව හා තිර රචනය යනාදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණත්වය පළකර ඇති කපිල කුමාර කාලිංග උසස් රසවතකු හා මිනිස්කම අගයන සද්පුරුෂයකු ලෙස තරුණ හා වැඩිහිටි සාහිත්‍ය කලා රසවතුන්ගේ ආදරය දිනාගෙන සිටී. එම ජනාදරය සෑම කලාකරුවකුටම නොලැබෙයි. ඊට හේතුව තම කෘතිය ඔස්සේ විදාරණය කරනු ලබන මනුෂ්‍යත්වය නිර්මාණකරුවාගේ දිවිසැරියෙන් පිළිබිඹු නොවීමය.

කරුණු මෙසේ හෙයින් මෙවර ස්වර්ණ පුස්තක සම්මාන දිනූ ලේඛකයාටද නිර්දේශ වුණු කෘති රචනා කළ ශමෙල් ජයකොඩි, බටුවන්ගල රාහුල හිමි, කත්‍යානා අමරසිංහ, දීප්ති මංගලා රාජපක්ෂ යන සාහිත්‍යධරයන්ටද ‘රැස’ පුවත්පත සිය සුභාශිංසනය පිරිනමයි. එමෙන්ම රජත පුස්තක, ගොඩගේ හා විද්‍යෝදය සම්මාන දිනූ, කෘති නිර්දේශ වූ සියලුම ලේඛක ලේඛිකාවන් හටද රැස සිය ප්‍රණාමය පුද කරයි.

සාහිත්‍යකරුවා මනුෂ්‍යත්වය සොයා දිගු චාරිකාවක යෙදෙන්නෙකි. සාහිත්‍ය කෘතියෙහි ඇතුළත් චරිත හා සිදුවීම් ඔස්සේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු කැණීමක් කිරීමට උසස් සාහිත්‍යකරුවා සමත් වෙයි. ඒ සඳහා ඔහුට ප්‍රතිභාවක් අවශ්‍ය වෙයි. සාහිත්‍ය දැනුමද බහුමානීය දෘෂ්ටි කෝණයෙන් ජීවිතය විනිවිද දැකීමේ ගුණයද තිබීම වැදගත් වෙයි.

“ඇදගැසුණු මිනිසත් බව නමැති දැවයෙන් ඇද නොගැසුණු කිසිවක් තනා නිම කළ නොහැකි යැයි” සුප්‍රකට දාර්ශනිකයකු වූ එමෑනුවෙල් කාන්ට් කී පරිදිම විශිෂ්ටතම සාහිත්‍ය කෘතියක වුවද පළුදු තැන් තිබිය හැකිය. ගාර්ෂියා මාකේෂ්ගේ හුදෙකලාවේ සියවසක්, පියදෝර් දොස්තොයෙව්ස්කිගේ අපරාධය හා දඬුවම, ගුස්ටාෆ් ෆ්ලෝබාගේ එමා බොවාරි, මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය යනාදී සෑම කෘතියකටම එය අදාළය. එමෙන්ම සෑම සාහිත්‍ය විනිශ්චයක්ම සැමට එකඟ විය හැකි ප්‍රතිඵල නොදෙනු ඇත. සුප්‍රකට නොබෙල් සාහිත්‍ය තෑග්ග ලැබූ සහ නොලැබූ ලේඛක නාමාවලිය පිරික්සීමෙන්ද මෙය පැහැදිලි වේ.

ස්වර්ණ පුස්තක ඇතුළු සම්මාන උලෙළවල සාහිත්‍ය විනිශ්චයන් සම්බන්ධයෙන්ද විවිධ චෝදනා එල්ල වේ. මෙය ඇතැම් ලේඛකයන්ගේ කුහකකම්ද පත් ඉරු මත ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවකි. තමන්ගේ නවකතාව හැර වෙනත් නවකතාවකට සම්මාන ලැබීම ඉවසාගත නොහැකිව ගෝලබාලයන් ලවා හෝ අන්වර්ථ නමකින් සම්මානිත නවකතාවට පහරදෙන නිර්මාණකරුවෝද සිටිති. සැබෑ සාහිත්‍යකරුවා යනු මමංකාරය තුනී කළ අයකු යැයි හෙළදිව මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සඳහන් කළේ මෙවැනි සාහිත්‍ය ප්‍රතිරූප එකලත් ජීවත් වූ නිසා විය හැකිය.

තවත් විවේචකයන් පිරිසක් වන්නේ පුවත්පත්වල සාහිත්‍ය පිටු අවභාවිතයෙහි යොදාගෙන අවලාද එල්ල කරන පුවත්පත් කලාවේදීන්ය. මෙය ජනප්‍රියත්වය තකා පෑන හැසිරවීමේ ප්‍රතිඵලයකි. වසරක් පුරා පළවෙන සාහිත්‍ය කෘති කියවා ඒවා පිළිබඳ සන්සන්දනාත්මක හා තුලනාත්මක විචාරයක යෙදීමෙන් වළකින මොවුහු තමන් කියවූ පොතක් දෙකක් ආශ්‍රයෙන් සමස්තය පිළිබඳ නිගමන ඉදිරිපත් කරති. මෙය සාහිත්‍ය විචාරය ලෙස හැඳින්විය නොහැක.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ නිසා නවකතා අලෙවිය ඉහළ යෑමෙන් ලේඛකයන්ට වාසි සැලසිණ. ඒ ගැන සතුටු විය හැකිය. එමෙන්ම නවකතාවෙහි ප්‍රබෝධයක්ද ඇති විය. එය සාහිත්‍යයේ ගුණාත්මක වෙනසක් බවට හැරවිය හැක්කේ කෘති පිළිබඳ තුලනාත්මක විචාරයක් කිරීමෙනි. එහෙත් ඒ සඳහා අගතිගාමී දෘෂ්ටියෙන් තොර පුහුණු විචාරකයන් හිඟ වීම සාහිත්‍යයේ බලවත් අඩුපාඩුවක් බව කිව යුතුය.

මාතෘකා