පොත් වසන්තය අද්දර

පොත් වසන්තය අද්දර

“නුදුරු අනාගතයේදී අතිදක්ෂ ලේඛකයන් එක්දාස් පන්සීයක් බිහිවේය කියලා අප බලාපොරොත්තු විය යුතු නැහැ. නමුත් අපගේ සංගමය හේතුකොටගෙන, එවැනි දක්ෂ ලේඛකයන් පනහක් බිහිවේය කියල අපි හිතමු. මේ පනස් දෙනාගෙන් අසමාන ධී ශක්තිය තියෙන පස් දෙනෙක් හිටීවි කියල අපි හිතමු. ඉතිරි හතළිස් පස්දෙනා දක්ෂ ලේඛකයන් වුණහම හොඳටම ඇති....”

එහෙම කීවේ, 1934 අගෝස්තු 17 වැනිදා මැක්සිම් ගෝර්කිය. ඒ ඔවුන්ගේ 'සිහිනය' යි.

සාහිත්‍ය වනාහී කලාව නමැති කුලකයේ විශිෂ්ට නිර්මාණයකි. යම් ආහාරයක හෝ පානයක රසය දැනෙන්නේ දිව හා ඒ ආශ්‍රිත රස නහර නැතහොත් ඊට අදාළ ස්නායු පද්ධතියට පමණි. එහෙත් සාහිත්‍ය රසය මතුපිටින් කෙනකු දක්නා දෙයක් නොවන අතර එය සොයා යා යුතුය. සොයා ගැනීමට නම් හඳුනාගත යුතුය. හඳුනාගැනීමට නම් ඒ පිළිබඳ දත යුතුය.

සාහිත්‍යය ගැන සටහනකට අප යොමු වන්නට හේතු කිහිපයක් විණි. ඉන් පළමුවැන්න ආසන්නයේදී සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක්ම පැවැතීමය. දෙවැන්න සෑම දිනකම පාහේ පොත් දොරට වැඩීමක් සිදු වීමය. තෙවැන්න නුදුරේදීම අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ වීමය.

සාහිත්‍ය කලාව කෙරෙහි නැමියාවක් පවතින සමාජය අතිශයින් පිරිපුන් සමාජයකි. ලෝකයේ බොහෝ රටවල් භූගෝලීය රාමුවෙන් පිට පැන ලෝකය දිග්විජය කළේ කීර්තිධර සාහිත්‍ය නිර්මාණ මඟිනි. හෝඩි පොතක් නැති රටක්ව තිබූ කිර්ගීසියාව ලෝකයේ අග්‍රගණ්‍ය ලේඛකයන් රැසක් බිහි කරන්නේ රුසියන් සාහිත්‍ය වංශකථාව ලෝකයේ ඉහළම තැනක රඳවමිනි.

හෝඩි පොතක්වත් නැතිව, ලෝකයෙන් හුදෙකලාව, බුද්ධිහීනව, ගොපලු ජීවිත ගෙවූ කිර්ගීසියාවේ මිනිසුන්ට බොල්ෂෙවික් විප්ලවයෙන් ලැබුණු මාහැඟි දායාදය අධ්‍යාපනයයි. පුෂ්කින්, ගොගොල්, චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි, කුප්රීන්, තුර්ගිනිෆ්, බුනින්, ගොන්චාරෙව්, ලර්මන්තොව්, ගෝර්කි යනාදී සද්ධන්ත සාහිත්‍යධර කුලකයට ෂෝලහොව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්‍රොයව්ස්කි, බන්දාරොව්, තිකනෝව්, සිමනෝව්, ග්‍රැනින්, ගම්සාතොව්, රස්පුටින්, රිටිකියු, යෙව්ෂෙන්කෝ, අයිත්මාතොව් වැනි සාහිත්‍ය බල කණු ගොන්නක්ම කොළ පාට තණ පිරුණු රටක බිහි වන්නේ විප්ලවයේ දායාදවලට පින් සිද්ධ වෙන්නටය.

ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයකින් පීඩා විඳ නිදහස් වූ රටක් වුවද පශ්චාත් යුද සමයේ හරිහමන් සහිත්‍යක් හෝ කලාවක් මඟින් ඉදිරියට ආවේ නැත. ඒ වෙනුවට ගොඩනැඟුණේ 'චින්තනය සැනසෙන' නිර්මාණ සිදු කරන වට්ටෝරු ශිල්පීහුය.

අප සාහිත්‍ය ගැන කතා කරන්නේ එවැනි වටපිටාවක් තුළය. පොත් ප්‍රදර්ශනය සහ සාහිත්‍යමය කටයුතු වඩ වඩාත් සමාජයට අවැසි වන්නේ එයින් සමාජය කිසියම් පරිචයක් සහ පෙරටුගාමීත්වයක් අත්පත් කරගන්නා හෙයිනි. රසඥතාවෙන් හීන කායික සංතර්පණයම වින්දනය ක‍රගත් සමාජයක් එයින් ඔසවා තබන්නට තවදුරටත් සාහිත්‍යයට බැරිකමක් නැත. පොත් ප්‍රදර්ශනය උදෙසා දිනකට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනකාය සාහිත්‍යලෝලීන්ම යැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. එහෙත් ඔවුන් පැමිණෙන්නේ පොත් ප්‍රදර්ශනයටය. එය වඩාත් ප්‍රශස්ත තත්ත්වයකි. සාහිත්‍ය රසාස්වාදයෙන් ඈත් වී වෙනත් ආස්වාදයන් සොයා දුවන පරපුරක් 'රැල්ලක්' ලෙස හෝ සාහිත්‍යය වෙත නැඹුරු කිරීම බෙහෙවින්ම වටනේය.

මාතෘකා