කලින් කලට පහළ වන ගැලවුම්කරුවෝ

කලින් කලට පහළ වන ගැලවුම්කරුවෝ

කායික හා මානසික ආබාධවලට ලක්වූවන් රවටා බඩවඩා ගැනීම මෙරට කලක් තිස්සේම කරගෙන එනු ලබන ජාවාරමකි. මෙය රටකට සීමා වූ ලක්ෂණයක් නොවේ. සායි බාබා යනු ඒ විෂයයෙහි මුදුන්පත් වූ පුද්ගලයෙකි. ඔහු කුඩා කල අන්ත දිළින්දෙකි. පරාරෝපිත ලක්ෂණ සහිත ළමා දිවියක් ගත කළ ඔහු වැඩිහිටි පුද්ගලයකුගෙන් මැජික් ශිල්පයේ සමහර අංග උගත්තේය. ඔහු ඒවා මහජනයා ඉදිරිපිට ඉදිරිපත් කළේ මැජික් ශිල්පියකු ලෙස නොව දේව බලයෙන් කරන ඒවා ලෙසය. මෙලෙස ඔහු ගුරා පරදවා ඉදිරියට යද්දී භක්තිවන්තයෝ වැසිවසින්නට වූහ. ධනය ගලා ආවේය. පසුව ඔහු තම හාස්කම්වලට දාර්ශනික ආලේපයක් තවරමින් සායි දර්ශනයක් හඳුන්වා දුන්නේය. විශාල ධනයක් වැය කොට රෝහල්, ජලසම්පාදන සේවා ඇතුළු සුබසාධන සේවා රැසක් නඩත්තු කළේය. තමන් මිය නොයන බවට ජනතාවට ඒත්තු ගැන්වූ ඔහු වියපත්ව, රෝගීව සාමාන්‍ය මිනිසකු ලෙස මිය ගියේය. මරණයෙන් පසුව ඔහුගේ ගිණුම්වල තිබූ ධන සම්භාරය අනුව කළු සල්ලි සුදුකරන්නන් ඔහුගේ ගිණුම්වල මුදල් තැන්පත් කර ඇතැයි යන සැකය මතු විය.

සායි බාබා මට්ටමට නොගියද සායි පැටව් මෙරටද පහළ වෙති.

කලකට පෙර කුඩාගම ප්‍රසිද්ධ වූයේ යාඥාවෙන් ලෙඩ සුව කරන මධ්‍ය‍ස්ථානයක් හැටියටය. පසුකලෙක වෙනත් ස්ථාන ලෙඩ සුව කිරීම සඳහා ප්‍රසිද්ධ විය. වංචාවෙන් මහජනයා රවටා ධනය උපයා ගැනීමේ නින්දිත ක්‍රියාවලියට ජාති ආගම් භේදයක් නොමැත. එකල මීවැල්ලෑවට ඇදී ගිය ජනසන්නිපාතය නිසා රටපුරා කාසි හිඟයක්ද ඇති විය. ඊට හේතුව මීවැල්ලෑවේ බුදුන් පහළවූවා යැයි කියන බෝධියට කාසි පූජා කිරීමය. පන්සලේ භික්ෂුව වී ගබඩා කරන්නාක් මෙන් කාසි ගෝනි කර ගොඩ ගසා සඟවා තිබූ අයුරු මහබැංකු නිලධාරීන්ට අනාවරණය කරගත හැකි විය.

දොළුකන්දට පාදුර්භූත වූ භික්ෂුවක් පිරිත් මැතිරූ ජලයෙන් ලෙඩ සුව කිරීමට පටන්ගත්තේය. දුප්පත් මිනිසුන්ගේ කණකර එකතු කිරීමෙන් රත්තරන් කිලෝ ගණනක හිමිකරු වීමට එම භික්ෂුවට හැකි විය. රටවටා පිරිත් ජීවම් කිරීම කරගෙන යන ලද නමුත් අපිරිසිදු ජලය පානය කිරීමෙන් විශාල පිරිසක් රෝහල්ගත කිරීම ඇතුළු හේතු කීපයක් නිසා දොළුකන්දේ ජාවාරම ඇණහිටියේය. දෙල්දූවේ ඥානසුමන නමැති භික්ෂුවක්ද ෆාස්ටර් රාජේන්ද්‍රන් පරිදිම අඳ ගොලු බිහිරි පුද්ගලයන් හා ආබාධිතයන් පිට්ටනිවලට රැස් කර සුවපත් කිරීමේ බොරුව පටන්ගත් නමුත් එම වැඩපිළිවෙළේ ආයුෂ කෙටි විය. මේ වැඩසටහන්වල විශේෂත්වය වන්නේ රෝගය සුව වන්නන් ලෙස පුරුදු පුහුණු කළ පිරිසකගේ රඟපෑම්ය. අනෙක් කරුණ නම් තම ස්වාමියාගේ වංචාව හෙළි වීම වළක්වනු වස් නිතර අවදියෙන් පසුවන හා ඇතැම් විට මාධ්‍යවේදීන්ටද තර්ජනය කරන බත් බැලයන් පිරිසක් ඔවුන්ට සේවය කිරීමය. වැඩසටහන අසිරිමත් එකක් හැටියට කුලියට ලියන්නෝද සිටිති.

බියෙන් හා අසරණකමෙන් තැතිගත් මිනිසුන් රවටන අලුත්ම පිල්ලිය පහළ වී ඇත්තේ කුලියාපිටියෙනි. ජන්මය කුලියාපිටියෙහි වුවද ජාවාරම සිදුවන්නේ රටවටාය. චිත්‍රශිල්පය හා පොත් ප්‍රකාශනය ආවරණයක් කරගනිමින් කරගෙන යන මේ ජාවාරම සඳහා වෛද්‍ය වෙස්මූණුද ළං කරගෙන තිබේ.

එදා දොළුකන්දට, ලක්ෂ්මී පූජාවට හා ඉන් පසු අංගොඩ ජීවකයාට ගැලූ ජනගඟ දැන් ගලන්නේ කුමාරයකු දෙසටය.

ඇතැම් පිට්ටනිවලට දහස් ගණනක ජනගඟක් ගැලීමෙන් පෙනී යන්නේ අවිචාරය කෙතරම් නම් බලවත්ව සමාජගත වී ඇතිද යන්නයි.

දිළිඳු බව, නූගත්කම හා අවිචාරය එක් වූ විට නොපෙනෙන බලවේගවල පිහිට පැතීමේ නැඹුරුව වැඩි වෙයි. ඇතැම් උගත්තුද තම වගකීම් පසෙක දමා මෙවැනි පිල්ලි පසුපස යති. උගත් මෝඩයන් බහුල වන සමාජයක ගොඩ වෙද්දුන්ගේ කරල පැහේ.

රට තුළ ආර්ථික විෂමතා උග්‍ර වන තරමට දේශපාලන පරිහානිය වැඩි වන තරමට නොපෙනෙන බලවේගවලින් පිහිට පැතීමේ ප්‍රවණතාව වැඩි වේ. මෙහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ දුකට පත් වූවන් තවතවත් දුකට පත් වීමය. ණයකරුවන් වඩාත් ණය වීමය.

දොළුකන්දේ භික්ෂුව එකල හැඳින්වූයේ "ෆිනෑන්ස් දෙයියා" යන අන්වර්ථ නාමයෙනි. ඊට හේතුව දිවයිනේ විවිධ පළාත්වලින් සෙනඟ ප්‍රවාහනය කිරීමට ලැබීම නිසා බස් හිමියන්ගේ අතමිට සරු වීමය. සිල්ලර කඩවලටද කලදවස හොඳ වෙයි. දුගී කුටුම්භවල ආවේණික ගැටලුවලට විසඳුම් සොයා එම පවුල්වල සාමාජිකයෝ විශ්ව ශක්තිය සමඟ ගනුදෙනු කරන පුද්ගලයා වටා රොක්වෙති. තම සැමියා මදිරාබාධයෙන් බේරා ගැනිම සඳහා විශ්ව ශක්තිය වෙනුවෙන් කණේ කරාඹුව ගලවාදෙන ස්ත්‍රිය වැටී ඇති සෝචනීය තත්ත්වය වටහා ගැනීමට ජාතියේ මුරදේවතාවුන්ටද නොහැකි වීම කනගාටුදායකය. දැවැන්ත සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරව මේ ලෙඩේට බේත් නැත.

මාතෘකා