ඡන්ද කාලෙට එන ජාතිවාදී ගුණ්ඩු

ඡන්ද කාලෙට එන ජාතිවාදී ගුණ්ඩු

ඡන්ද හිමි නාම ලේඛනයේ අවසන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්නේ මැතිවරණ කොමිසමය. එම නිසා එහි සංයුතිය පිළිබඳව වඩාත් පැහැදිලි දැනුමක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සතුව ඇත.

"සිංහල ඡන්ද කියලා ජාතියක් ශ්‍රී ලංකා ඡන්ද හිමි නාම ලේඛනයේ නැහැ" මෙසේ කියා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. නිතර ප්‍රධාන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද ඇසුරුකරන සභාපතිවරයාගේ මේ ප්‍රකාශයට පාදක වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන දැක්වූ අදහසක් විය හැකිය.

ජාතිවාදී පදනම භාවිත කරමින් සංවේදී, ජාතිවාදී හැඟීම් ප්‍රචණ්ඩකාරී ලෙස උලුප්පා දක්වමින් පටු මැතිවරණ වාසිය උදෙසා භාවිත කිරීම මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහය සතු අමු ගෝත්‍රික ලක්ෂණයකි.

1983 ජූලි ජාතිවාදී කෝලාහල සංවිධානාත්මකව, දේශපාලන වුවමනාවන් අනුව පෙළගැසුණු බව එකල දේශපාලකයන් පිළිනොගත්තද අද සියලු පක්ෂවල දේශපාලකයෝ එය පොදුවේ පිළිගනිති. ජාත්‍යන්තරවාදය සිය දර්ශනය කොටගත් මෙරට වාමාංශික පක්ෂද එදා සුළුතර ජනකොටස් මහ ජාතියේ අණසකට යටත්ව පීඩිතයන් ලෙස සිටිය යුතු බව විශ්වාස කළේය.

පසුගිය දශකය තුළ නැවත නැවතත් මැතිවරණ අබියස ජාතිවාදී උසි ගැන්වීම් උත්සන්න කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ කටයුතු කළේය. එය නව වටයකින් නැවත ක්‍රියාත්මක කිරීම මෙලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හරහා කලඑළි බැස ඇත. මේ වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පුවත්පතකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් එම පෙරමුණට සහාය දක්වන ජාතිවාදී දේශපාලකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. "සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට මා සූදානම් නැහැ." යනු එම ප්‍රකාශයයි.

----

අලුත්ගම, කුලියාපිටිය, දිගන, අම්පාර, කිරින්ද ප්‍රදේශවල පසුගිය දිනවල ජාතිවාදී ගැටුම් වාර්තා විය. එම සිදුවීම්වලින් අනතුරුව නැවත මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබියදී මුස්ලිම් ප්‍රජාවට නිග්‍රහ කරමින්, ඔවුන්ව ප්‍රකෝප ගන්වමින්, ජාතිවාදය පතුරවා ඒ මතින් සිය ඡන්ද පදනම වැඩි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක මදුමාධව අරවින්ද කටයුතු කර තිබීම පටු ජාතිවාදී දේශපාලනගේ වර්තමාන ක්‍රියාකාරීත්වයට කුප්‍රකට උදාහරණයයි.

ජාතිකත්ව පදනම මත ගොඩනැඟී ඇති මෙරට දේශපාලන පක්ෂ බහුතරය මෙවර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙවැනි ප්‍රකාශවලින් තමන්ට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා මදුමාධව අරවින්දව මැතිවරණ ව්‍යාපාරයේ කටයුතුවලින් ඉවත් කළ බවට නොනිල ප්‍රකාශයක් සිදු කිරීමම මෙලෙස නැවත ජාතික පදනම අනුව බෙදිය හැකි ඡන්ද තමන් සතු කර ගැනීමේ තවත් මැතිවරණ උපක්‍රමයක් බවට සැක නැත.

සිංහල බෞද්ධ ජනතාව අතර ජාතිවාදී මානසිකත්වය ගොඩනඟා, ශ්‍රී ලාංකේය ජනතාව කොටස් කර, මහ ජාතීන් හා සුළු ජාතීන් වශයෙන් බෙදුම්වාදයක් ඇතිකර මෙරටේ නම ‘සිංහලේ රට’ යැයිද මෙරටේ එකම ජාතිය සිංහල ජාතිය පමණක් යැයිද පවසමින් ජාතිවාදී වියරුවෙන් දේශපාලන බලයක් ගොඩනැඟීමට අතළොස්සක් දැරූ උත්සාහය හුදෙක්ම පුස්සක් වූ අවස්ථාවක් 2015දී උදා වූ බව මේ පිරිසට අමතක වීම පුදුමයකි.

පසුගිය මහ මැතිවරණයේදී 'බොදු ජන පෙරමුණ' නමින් තරග කළ බොදු බල සේනා සංවිධානය, දිස්ත්‍රික්ක 16ක් සඳහා නාම යෝජනා භාර දී තිබිණි. එහිදී ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 20,377ක් පමණකි. එකදු ආසනයක් හෝ ලබා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. මෙය තවදුරටත් මහජනතාව තම ජාතිවාදී න්‍යායපත්‍රවලට අනුව හැසිරවිය නොහැකි බවට ලබා දුන් යහපත් පණිවිඩයකි.

ඉදිරියේ එළැඹෙන්නේ ජනාධිපතිවරණය උදෙසා සියලු තුරුම්පු, න්‍යාය, උපාය, උපක්‍රම භාවිත කරන සමයයි. එම උපක්‍රම ගොන්නට පටු ජාතිවාදී අරමුණු එක් වන්නේ නම් ඔවුන් නියෝජනය කරන පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ පැටිකිරිය පසෙකලා ප්‍රතික්ෂේප කිරීම මේ යුගයේ පුරවැසියාට නොසලකා හැරිය නොහැකි වගකීමකි.

මාතෘකා