පාතාලය සූදානම්ද?

පාතාලය සූදානම්ද?

2019 ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයාගේ ප්‍රමුඛතම අපේක්ෂාවක් බවට පත් වූයේ ජාතික ආරක්ෂාව තර කිරීමය. දශක තුනක යුද්ධය සහ දෙවරක් සිදු වූ සිවිල් ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන්ට නව පන්නයේ ත්‍රස්තවාදයකට මුහුණ දීමට සිදු විය. රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පසුගියදා ප්‍රකාශ කළේය. මේ සියලු ගැටුම් මධ්‍යයේ මෙරට ආර්ථිකයට සහ සමාජ සුරක්ෂිතතාවට වැඩිම බලපෑමක් කළ කල්ලියක් ලෙස පාතාලය කුප්‍රකටය. දේශපාලකයන්ගේ ආරක්ෂාව සහ ආශිර්වාදය මැද ඔවුන්ගේ ක්‍රියාකාරකම් සිදු වූ බව අලුතින් කිව යුතු යමක් නොවේ.

ඉතාම සාමකාමී මැතිවරණයක් ලෙස වාර්තා අතරට එක් වූ පසුගිය ජනාධිපතිවරණය සමයේ දැරණියගල, නූරි වත්තේ සිදු වූ කලබලකාරී සිදුවීම මෙවර ජනාධිපතිවරණයේදී සිදු වූ හෙළාදැකිය යුතු සිදුවීමක් බව මැතිවරණ කොම්සමේ සභාපතිවරයා පැවසීය. මෙම සිදුවීම නැවත් හිස ඔසවමින් සිටින පාතාල කණ්ඩායමක් විසින් සිදු කළ බව එම ගම්වාසීහු චෝදනා කරති. එම ග්‍රාම සීමාව තුළ නැවත වරක් පොලිස් විශේෂ කාර්ය බලකාය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසද ඔවුන් ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇත. වත්මන් ජනපතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ පාතාල ක්‍රියාකාරකම් මර්දනයට සෘජුව මැදිහත් වූ බව මෙරට ජනතාවට හොඳින් මතකය. ඒ මතකය ඔස්සේ පාතාල ක්‍රියාකාරකම්වලට තිත තැබීමට නැවතත් ආරක්ෂක අංශ වඩාත් සක්‍රියව කටයුතු කරනු ඇති බවටද ඔවුන්ට විශ්වාසයක් ඇතිව තිබේ.

පසුගිය වසර කිහිපය තුළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ මත්කුඩු ඇතුළු අන්තරාදායක මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ කටයුතු මෙන්ම පාතාල කණ්ඩායම් මර්දනය කිරීමේ කටයුතුද වඩාත් වැඩි කාර්යක්ෂමතාවකින් සහ දේශපාලන බලපෑම්වලින් තොරව සිදු කිරීම කෙරෙහි වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබීම සාමය, සතුට සහ නිදහස අගය කරන මෙරට සාමාන්‍ය මහජනතාවට අස්වැසිල්ලකි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කිරීමට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළි ශක්තිමත්ව ගොඩනැඟීමට කටයුතු කරන බවට ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් දිනයේම ජනාධිපතිවරයා සපථ කිරීම කිරීම මෙම බලාපොරොත්තු තවත් නැංවීමකි.

එළැඹෙන මහ මැතිවරණය තෙක් පවතින භාරකාර ආණ්ඩුව අද දිනයේ පත් වනු ඇත. ඉදිරි මාස කිහිපයේ එම ආණ්ඩුවට පැවරෙන ඉක්මණින් ඉටු කළ යුතු කාර්යයන් අතර මහජන ආරක්ෂාව ප්‍රමුඛත්වයක් ගනු ඇත. ඒ සඳහා පාතාල සාමාජිකයන් මෙන්ම අනෙක් අපරාධකරුවන් ආරක්ෂා කරන සහ ඔවුන්ට සෘජු-වක්‍ර සහාය දක්වමින් ආශිර්වාද කරන ප්‍රාදේශීය සහ ජාතික තලයේ දේශපාලකයන්ගෙන් එල්ල වෙන බලපෑම්වලට නැවතීම සනිටුහන් කිරීමට සිදුවනු ඇත. එය සම්ප්‍රදායික දේශපාලකයෙකුට පහසු කාර්යයක් නොවේ. නමුත් සම්ප්‍රදාය අතික්‍රමණය කරන්නෙකුට නිසැකවම මෙරට අනාගතයේ තීරණාත්මක හැරවුමක් බවට පත් විය හැකිය.

මාතෘකා