2010, 2015 සහ 2019

2010, 2015 සහ 2019

ජනාධිපතිවරණයට ඇත්තේ දින පහක් පමණි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර කරට කර සටනක් පවතින බව ඇතැම් නිරීක්ෂකයන්ගේ මතයයි. කවුරු ජයග්‍රහණය කළත් පළමුවැන්නා සහ දෙවැන්නා අතර විශාල පරතරයක් තිබේ යැයි කිව නොහැක. ඇතැම් විට ඒ පරතරය 2015 ජනාධිපතිවරණයේ පරතරයටත් වඩා අඩුවීමට ඉඩ තිබේ. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන තුරු අනුමාන කිරීම් මිස නිවැරදි නිගමනවලට පැමිණීම බුද්ධිගෝචර නොවේ.

මෙවර ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස අගයන ජනතාවගේ සතුටට හේතුවන පොදු ලක්ෂණයක් ඇත. එනම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීමය. මීට බලපෑ ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමුවැන්න 19 වැනි සංශෝධනය ඔස්සේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම අනුව මැතිවරණ කොමිසම බලගැන්වීමය. දෙවැන්න ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා තම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් හට බාධා නොකරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අකුරටම අනුගමනය කිරීමය. 2010 සහ 2015 පැවති ජනාධිපතිවරණ සමඟ සසඳා බලන විට මෙය ඉතා යහපත් වර්ධනයකි.

2010 ජනාධිපතිවරණයේදී බාධා කිරීම් මඩ ගැසීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට මුහුණ දීමට ජනරාල් සරත් ෆොන්සේකාට සිදු විය. රාජ්‍ය දේපළ අවභාවිතය සුලබ දසුනක් විය. මැතිවරණය පැවති දින සවස් වරුවේ ඉතා නින්දිත අයුරින් සරත් ෆොන්සේකාට ඡන්ද වැටීම වළක්වන ක්‍රමන්ත්‍රණයක් දියත් විය. මේ සඳහා රාජ්‍ය මාධ්‍ය නිර්ලජ්ජී අයුරින් අවභාවිත කෙරිණ. පරාජය වීමෙන් පසු ඔහු රැඳී සිටි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් එළියට එන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වූයේ රාජ්‍ය‍ ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් හැටියට. දූෂිත ආණ්ඩුව සහ විධායකය මැතිවරණ නීති උල්ලංඝනය කළා පමණක් නොව රට වැසියකු හැටියට සරත් ෆොන්සේකාට නිදහසේ ජීවත්වීමේ අයිතියද උදුරාගනු ලැබීය.

2015 ජනාධිපතිවරණයේදී විධායක බලය තමන් අතින් ගිලිහේය යන බිය අනුව මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරයද අමතක නොකළ යුතුය. අන්තවාදී ආගමික කල්ලි යොදවාගෙන පොදු අපේක්ෂකයා රට බෙදන්නකු හැටියට සමාජය බියට පත් කිරීමේ ක්‍රියාදාමයක් දියත් විය. ගලගොඩඅත්තේ ඥානසාර බික්ෂුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොටි ධේනුවක් බවට ප්‍රසිද්ධියේ කළ චෝදනාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණ. ඇය පොදු අපේක්ෂකයා වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නැඟීම ඊට හේතුවයි.

දිවිනැඟුම අරමුදල ඇතුළු ගිණුම්වල මුදල් අවභාවිත කරමින් ඡන්දදායකයන් හට අල්ලස් ලබා දීම සිදු කෙරුණේ ප්‍රසිද්ධියේමය.

පොදු අපේක්ෂකයා සහභාගිවීමට නියමිතව සිටි රැස්වීමකට වෙඩි තබන ලදි. ඔහු පරාජය වුවහොත් අත්විය හැකි ඉරණම ගැන ප්‍රසිද්ධ වේදිකාවල සාකච්ඡාවට ලක් විය.

ඒ අනුව 2015 බල පෙරළිය නිසා බිහිසුණු විනාශයක් වැළකිණි.

මෙවර ජනාධිපතිවරණයෙහි විශේෂත්වය වනුයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා ප්‍රතිවාදී අපේක්ෂකයන්ට මොනම අයුරකින්වත් මැතිවරණ නීති උල්ලංඝනය වන අයුරින් බාධා නොකිරීමය. ප්‍රතිවාදීන් බියට පත් නොකිරීමය.

මේ ජනාධිපතිවරණයෙන් කවුරු ජයගනීදැයි දැන්ම කිව නොහැක. එහෙත් පසුගිය ජනාධිපතිවරණ දෙකෙහි අත්දැකීම් අනුව බලන විට ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් වූ අපේක්ෂකයකු ජයග්‍රහණය කළ හොත් එළැඹෙන අනාගතය අඳුරු චිත්‍රයක් වීම නම් වැළැක්විය නොහැකි වනු ඇත.

2015 ජනාධිපතිවරණයේදී සිදුවන්නට ගිය බරපතළ වැරදි වැළැක්වී ගියේ මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු ප්‍රතිපත්ති හේතුවෙනි. මෙවර ඔහු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාය. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වයත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ විධිමත් යාන්ත්‍රණයත් අනුව බැලූ විට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ විශ්වාසය තහවුරු වී ඇත.

තත්වය මෙසේ තිබියදී තමා බලයට පැමිණියහොත් 19 වැනි සංශෝධනය අහෝසි කරන බව එක් අපේක්ෂකයෙක් පවසයි. මෙය භයානක අනතුරු ඇඟවීමකි. ඒ අනුව නැවත 18 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වනු ඇත. එවිට ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ අභිමතය පරිදි කොමිෂන් සභා පත් කෙරෙනු ඇත. මැතිවරණ කොමිසමද විධායකයේ හස්තයට යටවූ කල නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ යළිත් බොහෝ කාලයක් සිහින දකින සමාජයක් නිර්මාණය වීම එහි ප්‍රතිඵලයයි.

නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි. සර්වජන ඡන්දබලය ලැබුණු රටක් හැටියට වර්තමානය දක්වා පැමිණි ගමන සතුටු විය හැක්කනි. එය දියුණු දේශපාලන සංස්කෘතියක පදනමයි. එය ආරක්ෂා කර ගැනීම සියලු ඡන්දදායකයන්ගේ වගකීමයි.

මාතෘකා