රට විකුණනවෝ!

රට විකුණනවෝ!

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් සහස්‍රක අභියෝගතා සංස්ථාව (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) සහ මෙරට රජය අතර පැවති සාකච්ඡා ඇසුරෙන් නිර්මාණය කෙරෙන ලදැයි පැවසෙන සහස්‍රකක අභියෝගතා ගිවිසුමක කෙටුම්පතක් මේ වන විට සමාජ ජාලා හරහා සංසරණය වෙමින් පවතී. රාජ්‍යයන් දෙකක සෘජු මැදිහත්විමක් මත ඇතිවන ගිවිසුම් කැබිනට් මණ්ඩලයටද පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම මෙරට සම්ප්‍රදායයි. එම සම්ප්‍රදාය කඩමින් 2005 - 2010 පැවති රජය විසින් 'අත්පත් කර ගැනීමේ සහ හුවමාරු සේවා ගිවිසුම' (ඇක්සා ගිවිසුම ) ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කර තිබේ. එම ගිවිසුමට අත්සන් තබා වසර දෙකක් ගතවන තුරුම මෙරට ව්‍යවස්ථාදායකයෙන් පවා එම ගිවිසුමේ කරුණු සඟවා තැබීමට කටයුතු කළ එවකට පැවති රජය අවම තරමේ එම ගිවිසුමේ අනතර්ගත කරුණු පිළිබඳව පැහැදිලි කිරීම පවා මඟ හැර තිබිණි. පසුව හෙළි වූ එම ගිවිසුමේ එකඟ වූ කරුණු අතර ඇමෙරිකානු යුද නෞකා මෙරට වරායවල නැංගුරම් දැමීමේ අවසරයද සඳහන්ව තිබිණි.

2004 වර්ෂයේදී ඇරඹි 'සහස්‍රක අභියෝගතා සංස්ථාව' මේ වන විට රටවල් 29ක් සමඟ ගිවිසුම් 37කට එළැඹ ඇති අතර මේ හරහා ප්‍රතිලාභ ලබා ඇති පිරිස මිලියන 175කට අධිකය. දරිද්‍රතාවෙන් පීඩා විඳින නමුත් යහපත් ආණ්ඩුකරණය සහ ආර්ථික නිදහස තම රටවැසියාට ලබා දුන් රටවල් මෙම ප්‍රදානය සඳහා එම ආයතනය මඟින් තෝරා ගැනේ. ඒ අනුව අසල්වැසි ආසියානු රටවල් වන පිලිපීනය, නේපාලය, ඉන්දුනීසියාව සහ මොංගෝලියාව වැනි රටවල් එම ගිවිසුම්වලට එළැඹ ඇති අතර සිය ප්‍රථම MCC ගිවිසුමෙන් මනා ප්‍රතිඵල අත්කර ගත් ඉන්දූනීසියා රජය මේ වනවිට දෙවැනි ගිවිසුමට අත්සත් තැබීමේ සූදානමින් සිටී. පසුගිය වසර කිහිපය තුළ ඉන්දුනීසියාව අත්කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ මෙම උත්සාහයට මනා නිදසුන් සපයයි.

'කොරහේ සිටින කිඹුලන්' නොදකින මෙම රටවල ජනතාව MCC ගිවිසුම හරහා එම රටවලට ලැබෙන ආර්ථික ප්‍රදානයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට සැදී පැහැදී සිටිති. ඉතිහාසයේ සිටම ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් අනියත භීතිකාව වපුරන අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්වලින් අපේ රටට නම් අඩුවක් නැත. දැවැන්ත පාරවල් තනන්නේ විදෙස් ගුවන් යානා බැස්සවීමට යයි පැවසූ ඉතිහාසයේ සිට ඇමෙරිකාවේ ගූගල් වර්ජනය කළ යුතුයි යැයි පවසන වර්තමානය දක්වා මෙරට මහජනතාවට ලැබෙන ප්‍රතිලාභ නැවැත්වීමට 'ගිරිය පුප්පා' හඬ ගෑවේ ඔවුන්ය. සදාතනිකවම ජනතාවගේ දරිද්‍රතාව මැතිවරණවලදී තම ප්‍රචාරණ මෙවලමක් ලෙස භාවිතා කිරීම ඇරුණු කොට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුමක් හෝ හැදෑරීමක් ඔවුන් සතු බව නොපෙනේ.

මෙම ගිවිසුම පිළිබඳව අනිවාර්යයෙන් ව්‍යවස්ථාදායකය දැනුවත් කරන බවද, සඟවා අත්සන් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද මුදල් අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී, මෙම ගිවිසුමට විරෝධය දක්වන පිරිස හුදු ඡන්ද වාසි තකා පූජ්‍ය පක්ෂය සහ ජනතාව නොමඟ යවමින් සිටිති. ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබූ බව පවා නොදන්නා පෞද්ගලික පන්ති උපකාරක ගුරුවරයෙකු හරහා ගිවිසුම පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් මහජනතාව කුපිත කරවීමට ප්‍රයත්න දරති.

ඔහු ඉදිරිපත් කරන ලද කරුණු කොතරම් සාවද්‍ය දැයි කියතොත් සමාජ ජාලවල පළවන තොරතුරුවල නිරවද්‍යභාවය සොයා බලන ජාත්‍යරන්තර 'ෆැක්ට් චෙකර්' සංවිධානය විසින් එම ගුරුවරයාගේ වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කළ යුතු බවට නිර්ණය කර තිබේ.

1956 සිට මෙරට ක්‍රියාත්මක වන USAID යනු MCC වැනිම වූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ආයතනයකි. වසර 63ක් පුරාවට එම ආයතනය, විවිධ ක්ෂේත්‍ර හරහා මෙරට ආර්ථිකයට දැක්වූ දායකත්වයට විරෝධතාව නොදැක්වූ මෙම අවස්ථාවාදී පිරිස, එම ආයතනයේ ව්‍යාපෘති හරහා දශක 6ක කාලයකදී මෙරටට අහිමි වූ එකදු හෝ සම්පතක් පිළිබඳව පැවසීමට අපොහොසත් වෙති. එබැවින් මාධ්‍ය අවකාශ වගකීම් විරහිතව ආක්‍රමණය කරන මෙම පටු දේශපාලන අරමුණුවලින් රට බේරා ගැනීමේ වගකීම ඇත්තේ 'යමක් කමක්' තේරෙන ජනතාවටය.

මාතෘකා