අන්තවාදය තරම්ම බියකරු පසුගාමීත්වය

අන්තවාදය තරම්ම බියකරු පසුගාමීත්වය

මහරජ ඔබේ වංශය රාජ වංශය වුණාට, මගේ වංශය බුද්ධ වංශය. පිඬුසිඟා වැඩීම මගේ වංශයෙ වැඩක්’ යනුවෙන් බුදුන් වහන්සේ සුද්දෝධන හෙවත් තමන්ගේ පියාට දේශනා කළහ. පිඬුසිඟා වැඩීම තමන්ගේ කුලයට තරම් නොවන බවත් ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා නොවඩින ලෙසත් ඉල්ලූ පියාට බුදුන් පිළිතුරු දුන්නේ එසේය. කුලවාදය, ජාතිවාදය, කල්ලිවාදය බැහැර කිරීමේ ප්‍රමුඛ ආදර්ශය උන්වහන්සේ ලබා දුන්හ.

උණහපුළුවා, ගිබන්, ඔරංඔටන්, වඳුරා, ගෝරිල්ලා, චිම්පන්සියා, මිනිසා දක්වා වසර ලක්ෂ ගණනාවක් තිස්සේ සිදුවූ පරිණාමය තවමත් නතර වී නැත.

එකී පරිණාමයට සාපේක්ෂව ලෝකයද පෙරට ගිය අතර එනයින් ලෝකය පරිවර්තනීය දියුණුවකට ලක් විය.

එහෙත් සමහර දෑ තාමත් චිම්පන්සි යුගයේ හෝ ඊට මඳක් මෙපිටින්ය. ගෝත්‍රිකත්වයේ සාමාන්‍ය මුහුණුවර වන අනෙකා පෙළීම, අනෙකා ගොදුරුකර ගැනීම යනාදී අපුල ගණයේ තත්ත්වයන් එකල මෙන්ම තවමත් ක්‍රියාත්මක ය.

බොහෝ දෙනා පොදු නීතියක් ගැන කතා කරති. ෂරියා නීතිය වැනි කෲර සංකල්පවලට එරෙහි වෙති. එහෙම කියන ඔවුන්ම අපරාධකරුවන්ට ගල් ගැසිය යුතුයැයි පෙළපාළි යති. බැනර් ප්‍රදර්ශනය කරති.

එහෙම වෙන්නේ කෙසේද කියා දන්නේ ඔවුන්ම පමණි.

තමන්ගේ හෝ තම කල්ලියේ මතවාදයට අනුගත වෙන ඕනෑම දෙයකට ඔළුව වනා අනුමත කිරීමට තරම් සමාජයේ බොහෝ දෙනා අන්තගාමීව වහලුන් බවට පත්ව සිටිති.

පෙරටුගාමී රටක් හෝ සමාජයක් බිහිවනු පිණිස ආර්ථික ශක්තිය පමණක් සාධකයක් වන්නේ නැත. ඒ උදෙසා උසස් මානව ගුණවගාවක් සහිත ජීවන රටාවක් මිනිසුන් තුළ පැවතිය යුතුය. ප්‍රකෝටිපතියන්ව සිටි සහරාන්ලා අන්තවාදී, පසුගාමී ත්‍රස්තයන් වන්නේ එනිසාය. ඔවුන් සතුව උසස් මානව ගුණධර්මයක් තිබී නැත. ඔවුන් දන්නා එකම ධර්මය 'අන්ධ අන්තවාදයයි'.

ඔවුන් ස්වකීය තකතීරු මෝඩකම ප්‍රදර්ශනය කළේ සමස්ත සමාජයක ජීවන පැවැත්ම උඩුයටිකුරු කරමින්ය.

1983 සිදු වූ ජූලි කලබල රටට ඉතිරි කළේ පරම්පරා ගණනාවක ඛේදනීය ඉරණම් කතාවකි. එය ඇතිකළ පුද්ගලයන්ට එයට සම්බන්ධ වූවන්ට පරීක්ෂණ සිදුකර කිසිදු දඬුවමක් නොදීමේ ප්‍රතිඵලය වූයේ වසර 30ක යුද්ධයකට රට තල්ලු‍ වී යෑමය. සාමාජිකයන් 200ක් පමණ සිටි කොටි සංවිධානය 1983 ජූලි කලබලයෙන් පසුව සාමාජිකයන් 6000ක් දක්වා ඉහළ යෑමට හේතු වූයේ මන්දගාමී සහ පසුගාමී පරීක්ෂණයන්ය.

පසුගියදා අත්අඩංගුවට පත් තවුහීද් ජමාත් සාමාජිකයෙක් ප්‍රකාශ කර ඇත්තේ දිගන සිදුවීමෙන් පසුව විශාල තරුණ පිරිසක් ඔවුන් සමඟ එකතු වූ බවය.

ඉන් අනතුරුව කුරුණෑගල, ගම්පහ වැනි ප්‍රදේශවල යකා නැටූවන්ද අන්තවාදීන්මය. ඔවුන් නොකළ එකම දේ මරාගෙන නොමැරීමය.

මේ වනවිටත් බොහෝ දෙනා සහ බොහෝ මාධ්‍ය සුපුරුදු අන්තවාදී සහ ජාතිවාදී මත සරුවට වපුරමින් සිටිති. සියල්ල අපූරු චිත්‍රපට පිටපත් ලෙස සිදුවෙමින් තිබේ. ලොව ඕනෑම සම්මාන උලෙළක අනභිභවනීය තිර නාටක ලෙස මේ විකෘති කතා ඉදිරිපත් කළ හැකිය.

සමස්ත සමාජයම මේ හිතලු සහ සොම්බි මට්ටමේ කතන්දර අබියස තුෂ්ණීම්භූත ය.

ලොව පුරා ප්‍රශස්ත මිනිසුන් එක යාකය සිහින දකිද්දී අපි ගෝත්‍රිකත්වයේ පහස පතමින් සිටිමු. සාර්ථකත්වයේ ඉදිරිගාමී සිහින වෙනුවට පසුගාමීත්වයේ අන්ධකාර සිහින වෙත රටක් දක්කාගෙන යන සෙයියාව නරඹමින් පුරවැසියාද අර්ධ නිද්‍රාවකය.

“ජනවර්ගවාදී ස්වරූපය ගත් ආගම සහ දේශපාලනයේ එක් වීම අති භයානක සන්ධානයකි. එම එක්වීමෙන් බිහිවන්නේ අතිශය විකෘති වූ අවජාත පිරිසකි.”

1948 අප්‍රේල් 3වැනිදා පාර්ලිමේන්තුවේදී ජවහර්ලාල් නේරු පවසා තිබේ. කුලය හෝ ජාතිය මත මිනිසා උසස් කොට නොසැලකිය යුතු බව බුදුන් දෙසා තිබේ.

එහෙත් පක්ෂ දේශපාලනයෙන් අන්ධ වූ අනුගාමිකයෙක්ට ඔහුගේ නායකයා පවසන දේ 'ඇදහිල්ල' බවට පත් වේ. ඔහු මෙලෙස පවසනු ඇත.

'බුදුහාමුදුරුවෝ වගේද අපේ නායකයා.'

මාතෘකා