දේශප්‍රේමී නොදරුවෝ

දේශප්‍රේමී නොදරුවෝ

2007දී ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් කරනු ලැබූ ගිවිසුමක් පිළිබඳව කසුකුසුවක් සමාජයේ විවිධ ස්ථරවල කතාබහට ලක්වෙමින් තිබේ. අදාළ ගිවිසුම අත්සන් කළේ කවුද, කවදාද යන්න නොතකා හරිමින් එහි චූදිතයා වත්මන් ආණ්ඩුව බවට පත් කරන්නට සමහරු උත්සාහ ගනිමින් සිටිති.

එහෙත් අදාළ ගිවිසුම 2007 වර්ෂයේ අත්සන් කරනු ලැබූවකි. එහිදී දෙරට නියෝජනය කළ දෙදෙනා වූයේ අැමෙරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක් සහ ශ්‍රී ලංකාවේ එවක ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂය. ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් වුවද ඇමෙරිකන් පුරවැසියෙකි. ඒ අනුව බොහෝ විට ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටවල් දෙකක් වෙනුවෙන් වූ ගිවිසුමකට එක රටක දෙදෙනකු දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබුවේ එදාය.

කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ඇතුළු කිසිදු ආයතනයක් නොදැන, කිසිම දැනුවත් කිරීමකින් තොරව අදාළ බරපතළ ගිවිසුම අත්සන්කොට තිබිණි.

යුද්ධයේ නාමයෙන් මන්මත් වූ සමාජයක ඕනෑම නාඩගමක් නැටිය හැකි බවට ඉතිහාසයේ බොහෝ සිදුවීම් සාක්ෂි සපයයි. තැටිය රත් වූ විට රොටී පුච්චන එක දේශපාලනයේ ස්වභාවයයි. එය මනාව ගළපාගත් පාලන සමයක් වන්නේ මහින්ද රාජපක්ෂ සමයයි. ගිනිකණ වැටුණු ඇස්වලට මුවා වී ඔවුහු බොහෝ දේ සිදු කළහ. කඩින් කඩ මැතිවරණ, දේශපාලන පළිගැනීම්, අධිකරණයට බලපෑම්, අගවිනිසුරුවරිය පන්නා දැමීම්, නොයෙක් පන්නයේ ගිවිසුම්, බලය තහවුරු කෙරෙන සංශෝධන යනාදී සියලු බලකාමී ව්‍යාපෘති සිදු කළේ 'යුද උන්මාදයට' මුවා වෙමිනි.

එදා ශ්‍රී ලංකා-ඇමෙරිකා ආරක්ෂක ගිවිසුමට අත්සන් කළ රොබර්ට් ඕ බ්ලේක් ඊට ටික දිනකට පසු, එනම් 2012 පෙබරවාරි 14 වැනිදා කීවේ 'ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇ‍ෙමරිකාව සහාය දක්‌වනවා' කියාය.

ශ්‍රී ලංකා-ඇමෙරිකා ආරක්ෂක ගිවිසුමද එවැන්නකි. ඔවුහු ස්වකීය බලයෙන් මෙවැනි ගිවිසුම් අත්සන් කළහ. එවන් තීරණාත්මක ගිවිසුමක් අත්සන් කළ ඡායාරූපයක් හෝ නැත.

එම ගිවිසුම අත්සන් කරන රට පෙන්ටගනයේ නීති පද්ධතියට යටත්වෙන බව අදාළ ගිවිසුමේ සඳහන්ය. මෙහෙයුම්වලදී අවශ්‍ය නම් ගුවන් යානා සහ නාවුක යාත්‍රා සඳහා ඉන්ධන සැපයීම, එම රටවල ඇති වරායවල් සහ ගුවන් තොටුපොළවල් මෙන්ම මුහුදු සහ ගුවන් සීමා භාවිතය, සාම සාධක හමුදා යැවීම වැනි කාර්යයන් සඳහා ඊට අවශ්‍ය කරන සහයෝගය ලබාදීම, යුද අභ්‍යාස ඇමෙරිකානු හමුදාවත් සමඟ එක්වී ක්‍රියාත්මක කිරීම වැනි බොහෝ කරුණු සඳහා ගිවිසුම අත්සන් කරන රටවල් බැඳී සිටී.

එම ගිවිසුමට එළැඹි විට ප්‍රවාහනය සහ බෙදාහැරීම සඳහා වන අන්තර් ක්‍රියාකාරී හැකියාව ඔවුන්ට ලැබේ. මේ ක්‍රියාන්විතයන්වලදී ඇමෙරිකානු හමුදාවට අවශ්‍ය කරන සියලුම පහසුකම් සැපයීමට අනෙක් පාර්ශ්වය බැඳී සිටී.

ඒ ගිවිසුම හරහා ලංකාව ඇමෙරිකානු අධිකරණ සීමාවන්ට (Jurisdictions) 2017 දක්වා යටත්ව තිබූ බව දැන සිටියේ නැත.

කරුණු හරිහැටි නොදැන හෝ දැනගෙනත් නොදන්නා සේ සිටිමින් සමහරු ව්‍යාජ ඇමෙරිකානු විරෝධයක් මතු කරති. කිසිදු පදනමක් සහ තාර්කික බවක් නොමැති එම විරෝධයන් දේශපාලන අවස්ථාවාදයේ හොරණෑවන් පමණි. පුදුමය වන්නේ ලංකාවට ඇමෙරිකානු මැදිහත්වීම බරපතළ ලෙස සිදුවෙන්නේ ඇමෙරිකානු විරෝධීන් ලෙස පෙනී සිටින සහ දේශප්‍රේමයේ සළු පොරවාගත් පිරිසගේ රජය සමයේදීය. සියලු වරප්‍රසාද ඇමෙරිකානු රජයට පවරාදී ඉන්පසු ඇමෙරිකන් විරෝධයක් පළකරන විගඩම්සහගත නාඩගම සමහරු තවමත් අවබෝධ කරගෙන නැත. එමතු නොව එවක රජය තුළ සිටි උග්‍ර ඇෙමරිකන් විරෝධීන් පවා තම රජය මෙවන් ගිවිසුමක් අත්සන් කළ බවක් දන්නේ නැත. එය එතරම්ම රහසේ අත්සන් කළ ගිවිසුමකි.

නමුත් ඇතැමුන් මවාපාන දේශප්‍රේමය සහමුලින්ම ව්‍යාජ බව බොහෝ දෙනා දන්නේ නැත.

අනෙක් අතට චෝදනා එල්ල කරද්දී බොහෝ දෙනෙක් එහි මුල් පීතෲවරු අමතක කොට දමති. වැරැද්දෙහි වගකීම අනෙකා පිට පවරන්නටත් ජයග්‍රහණයේ අයිතිය තමා වෙත තබා ගන්නටත් සමත් දේශපාලන අවස්ථාවාදීන්ගේ තිප්පොළක අපි පුරවැසියන්ව ජීවත් වෙමු.

මාතෘකා