වෙසක් උලෙළ ජීවිතාලෝකයකි

වෙසක් උලෙළ ජීවිතාලෝකයකි

මෙවර වෙසක් උලෙළ පැවැත්වෙන්නේ මුළු රටම ඛේදනීය අත්දැකීම් සමුදායකට

මුහුණ දී සිටින මොහොතකය. ආගමේ නාමයෙන් මුස්ලිම් අන්තවාදීන් නිරායුධ බැතිමතුන් පිරිසක් මරා දැමීම හා ඊට පිළිතුරු ලෙස වෙනත් අන්තවාදීන් සාමාන්‍ය වැසියන්ගේ දේපළ විනාශ කර ශාරීරික හානි සිදුකිරීමේ සිදුවීම් දාමයෙන් සාමාන්‍ය වැසියන් පසුවන්නේ දැඩි කම්පනයකය. ජාතියේ හා ගමේ නාමයෙන් දේපළ හා ජීවිත හානි සිදු කිරීමේ අත්දැකීම් දශක කිහිපයක් අත්විඳ ඇති ශ්‍රී ලාංකේය සමාජය ඒ වෙනුවෙන් වුවමනාවටත් වඩා වන්දි ගෙවා ඇත.

මෙවර සිදුවූයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාදාමයකි. එය ආරම්භ වූයේ අන්තවාදී මුස්ලිම් කණ‍්ඩායමක් බෝම්බ පුපුරුවාගෙන විශාල ජන පිරිසක් ඝාතනය කරමින් තම ජීවිතද විනාශ කර ගැනීමෙනි.

මේ කෲර චින්තනයට මුල් වී ඇත්තේ ආගමික මූලාශ්‍රයක පාඨයකි. එය පරම සත්‍යයක් කොට විශ්වාස කරන කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන බිහිසුණු ඝාතන කල්ලි බිහිවී ලොව පුරා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවද එම ඛේදවාචකයට මුහුණ දුන්නේය. ඒ අනුව මෙම බිහිසුණු ඝාතනවලට බලපෑ විදේශීය හා දේශීය මූලයන් පවතී. එය වෙනම සාකච්ඡා කළ යුත්තකි.

ඝාතකයන්ගේ චින්තනයට මුල් වූයේ දෙවියන්ගේ ප්‍රකාශයකි. මිනිසාගේ ඉරණම පාලනය කරන නොවෙනස්වන බලවේගයක් හෙවත් ආත්මයක් පවතී යන විශ්වාසය තවමත් පැවතීම මීට හේතුවයි. මුස්ලිම්, හින්දු, කිතුනු යනාදී බොහෝ ආගම්වල කේන්ද්‍රීය ලක්ෂණය ආත්මවාදයයි. මෙය සිදුහත් කුමරා ඉපදීමට බොහෝ කලකට පෙර සිට පැවත එන ඇදහීමකි.

බුදු දහම මේ සියලු ආගම්වලින් වෙනස් වන්නේ එය අනාත්මවාදය මත පදනම් වී ඇති නිසාය. බුදු දහම නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරයි. මිනිසාගේ ඉරණම පාලනය කරන දෙවියකු නොමැති බව පැහැදිලිව කියයි. අනෙක් ප්‍රධාන ආගම්වල නාමයෙන් ඉතිහාසය පුරා විශාල ජනකායක් ඝාතනයට ලක්ව ඇතත් අහිංසාවාදී දහමක් හැටියට බුදු දහමේ නාමයෙන් ජනසංහාර සිදුවී නොමැත. අනෙක් ආගම්වල පරිදිම එය හිංසාවාදී දහමක් බවට පත් කිරීමට ඇතැම් කුඩා කණ්ඩායම් දරන උත්සාහයන් බුදු සමය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

පුද්ගලයා යනු සම්මුති වශයෙන් ගත හැකි පදාර්ථ සමූහයක් පමණකි යන්න බුදු දහමේ විවරණයයි. එනිසා ලොව සෑම පද්ධතියක්ම අනිත්‍යතා මූලධර්මයට යට වෙයි. බර්ට්‍රන්ට් රසල් වැනි නූතන දාර්ශනිකයන් මේ ගැන කීමට පෙර බුදුන් වහන්සේ එම සත්‍ය ලොවට හෙළි කළහ.

බුදුන් වහන්සේ කිසිම පුද්ගලයකු ආගමිකයකු බවට පත් නොකළහ. සත්‍යාවබෝධය සඳහා එළැඹිය හැකි මාර්ග හඳුන්වා දීම පමණක් උන්වහන්සේ සිදු කළහ. පුද්ගලයන්ගේ අවබෝධය හා ශක්තිය අනුව සත්‍ය හෙවත් නිවන අවබෝධ කර ගැනීම සඳහා ඉදිරියට යා හැකිය. අනෙක් ආගම්වල ස්වර්ගයට යෑම සඳහා විශ්වාසය, ඇදහීම සහ භක්තිය අවශ්‍ය වෙයි. එහෙත් බුද්ධ දේශනාව අනුව සත්‍යාවබෝධය හෙවත් නිවන ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ අවබෝධය පමණි.

"එන්න දහම දකින්න. එය විචාරන්න. හොඳින් අවබෝධ කරගන්නා තෙක් කිසිවක් විශ්වාස නොකරන්න."

බුදු දහම අවබෝධ කරගැනීමේ මඟ එයයි.

මේ අනුව බැලූ විට ආගම වෙනුවෙන් තරග කිරීමේ හෝ මිනී මැරීමේ වුවමනාවක් බෞද්ධයන්ට නැත. ලොව සෑම මානව සංස්කෘතියක්ම පොදුවේ එම ධර්මතා ආරක්ෂා කිරීමට බැඳී සිටී.

අන්තවාදයේ සීමාවල වෙනස්කම් ඇතත් සෑම ආගමකම අන්තවාදී ප්‍රවණතා දිස්වීම වත්මන් ලෝක ස්වභාවයයි.

මේ සියලු තත්වයන් අනුව බලන විට මෙවර වෙසක් උලෙළ බෞද්ධයන්ට තමන් යන මඟ යළි විමසා බැලීමටද අවස්ථාවකි.

"මුලින්ම තමන් තමන්ට පහනක් විය යුතුය. එවිට අනුන්ටද පහනක් වීමේ ගුණය වගා කරගත හැක."

මාතෘකා