මිනිස්කම වගා නොකරන බිමක

මිනිස්කම වගා නොකරන බිමක

මානව ප්‍රේමය හමස් පෙට්ටියක බහා එක්කෝ පරණ බඩු කඩයකට නොමිලේම දමා අහවරය. නැතිනම් හමස් පෙට්ටිය සමඟම ඊට ගිනි තබා අළුද සෝදා දමා හමාරය.

දැන් පැමිණ ඇත්තේ දතට දත, හිසට හිස එකට එක රටාවකි.

ම්ලේච්ඡත්වයේ කෙළ පැමිණි දුර්දාන්ත ත්‍රස්තවාදී රැළක් රටක් සපුරාම අකර්මණ්‍යකොට දැමීය. පුන පුනා කියමු...! උන් උදෙසා භාවිත කළ හැකි නිගරු සහගත වචනයක් තාමත් ශබ්ද කෝෂයේ නැත. නරුමම පුද්ගලයා වෙනුවෙන් ලොව තිබෙන සියලු නිර්වචන එකතුකොට උන් නිර්වචනය කරමු.

උන් බොහොමයක් මිනිස් ලොවෙන් තුරන් වී හමාරය. තවත් පිරිසක් අත්අඩංගුවේය.

දැන් තත්ත්වය කුමක්ද?

ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියකු මිස ඌ හඳුන්වාදිය හැකි වෙනත් ජාතියක් නැත. උගේ ජාතිය ත්‍රස්තවාදී ජාතියයි. උගේ උපතින් ලද ජාතිය ඊට අදාළ නැත. සියක් කිරි ශිරාවලින් මවු සෙනෙහස බෙදද්දී කිකලකවත් ඌට ත්‍රස්තවාදියකු වෙන්නට පාර කියන්නේ නැත.

කාලය විසින් ත්‍රස්තවාදීන් බිහිකරයි.

එහෙත් අන්තවාදී භ්‍රෂ්ටයන්ගේ අමන ක්‍රියාවලියට ඒ අර්ථයෙන්ම පිළිතුරු දෙන්නට යම් යම් කල්ලි කැස කැවීම සහ එසේ සිදු කිරීම කරළියට විත් තිබේ.

වෙනස පවතින්නේ කොතනද?

පරෙවි පියාපත් හඬට වඩා වෙඩි හඬට 'ලොබ බඳින' තිරස්චීනයන් රටට ඉතිරි කරන්නට යන්නේ කුමක්ද?

මුසල්මානුවා වේවා, සිංහලයා වේවා, දෙමළා වේවා ජාතිවාදය කරපින්නා ගන්නවා නම් ඉන් එහාට කතා කරන්නට 'පවිත්‍ර' යමක් ඉතිරිවන්නේ නැත. එවැනි ඇරඹුමකින් පසුව ඉතිරි වන්නේ ලේ වැකි අඳුරු පසු සටහන් පමණක් බව නොතේරෙන අධමයන්ට කොතරම් පහදා දුන්නත් පලක් නැත. දැන් සමහරු විනාශයට පත්වූවන්ගේ ප්‍රමාණයන් අනුව ජන වර්ග කේවල් කරති. උන්ට අපිට තරම් විනාශයක් වුණේ නැතැයි කියමින් සමහරු තව තවත් ලේ සහ ජීවිත සොලවන්නට වෙහෙසෙති. උන් මරපු හැටි අමතකද කියා විමසමින් උන් මැරීමේ අරමුණින් කඳවුරු බඳිති.

වෙනස කුමක්ද?

සියල්ලෝම එකලාව ගත් කල උන්මත්තකයෝ නොවේද?

යුද්ධය නිම වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවන් කිහිප විටක් උදා විණි. එහෙත් ඊට පයින් ගැසූ අවස්ථා එමටය. ඉන් බොහොමයක් බල තණ්හාව සහ උමතු උද්දච්ඡකම හේතුවෙන් සිදු වූ සහ සිදුවන විනාශය අතිමහත්ය.

මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැ‍ඟෙමින් ඇති නොසන්සුන්තාව එක පිරිසකගේ නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීන් මෙන්ම මුස්ලිම් ජාතිවාදීහුද එය තරගයට මෙන් පෝෂණය කළෝය. විශේෂයෙන්ම 80 දශකයේ සිට බිහි වූ මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂද සිංහල ජාතිවාදයට තරගයට මෙන් ප්‍රතිචාර දැක්වීමට යෑම තත්ත්වය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කළේය.

මෙම ජනවර්ග දෙක අතර එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැඟෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි.

එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදී පක්ෂද බිහි විය.

දැන් දෙගොල්ලෝම එකිනෙකා තරගයට මෙන් උන්මත්තකව අනෙකා සැක කරමින් වෛරයේ ගිනි බිඳිති.

මේ දුෂ්ට ක්‍රියාවලිය රටක් ලෙස අප බිහිකර ගනිමින් තිබූ ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය වසර ගණනාවක් පසුපසට රැගෙන යන ලදී. එමතු නොව 'සංහිඳියාව, මානව ප්‍රේමය' යනාදී ශිෂ්ට වචනවලට පවා උපහාසය සහ වෛරීය බැල්ම යොමු විණි. මෙතරම් අපරාධයක් තවත් තිබේද?

දැන් උන්මත්තකයෝ යකා නටමින් සිටිති. අවස්ථාවාදී දේශපාලන ගැත්තෝ එකී නරිනාඩගම් පිටුපස විලක්කු දල්වමින් සිටිති.

මේ ගෙවමින් සිටින කාල සමය පිළිබඳව අනාගතයේ ලියැවෙන ඉතිහාස පිටුව කෙබඳු ලෙස සකසනවාද යන්න තීන්දු කළ යුත්තේ ශිෂ්ට මිනිසුන් සහ නීතිගරුක ආයතන විසින්ය.

මාතෘකා