විකෘති සහ ප්‍රකෘති

විකෘති සහ ප්‍රකෘති

කට වසාගෙන සිටින විට මහා වියතකු හෝ ප්‍රබුද්ධයකු ලෙස පෙනෙක කෙනෙක් කට ඇරිය විට අන්ත මෝඩයකු බවට පත්වන අවස්ථා කොතෙකුත් දැකිය හැක. ඒ තිරිංග අහිමි කටෙන් ඕනෑම වාචාල කතාවක් පිටවිය හැකි හෙයිනි.

මෙවැනි අවාසනාවන්ත ඉරණමට බොහෝ විට ලක් වන්නේ මහජන නියෝජිතයෝය. ඔවුහු ලවක් දෙවක් නැතිව කියවන්නට ගොස් සදා අනාථ වූ සහ වන අවස්ථා බොහෝය. නොදන්නාකම තේරුම් ගෙන නිහඬව සිටීම හෝ නොදන්නා දේට කට නොදා සිටීම සාමාන්‍ය පිළිවෙත ලෙස පිළිගන්නට දේශපාලනඥයෝ අකමැතිය.

කටින් පිටවන වචනයක කොණක් අල්ලාගෙන කරේ තබාගෙන දුවන්නට සැදී පැහැදී සිටින මාධ්‍යද කොතෙකුත් තිබේ. පල්ලිවලින් හමුවන කඩු; පල්ලි අසල කැලෑ ශුද්ධ කරන්නට ගෙන ආ ඒවා බවට මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා කී බවට ප්‍රකාශයක් පසුගිය දිනවල මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.

ඔහු සත්තකින්ම එවැන්නක් කීවා නම් ඔහු සුදුසු වන්නේ ඇමතිකමට නොව ගව රංචුවක ගොපලු වැඩේටය. එහෙත් වඩා ප්‍රවේසමින් එයට සවන්දෙන විට වැටහෙන්නේ ඔහු එකඑල්ලේ එවැන්නක් නොකියන බවය. එය එසේ නොවේනම් අදාළ වීඩියෝවට නැවත සවන්දිය හැක. අනෙක් අතට එතැන මාධ්‍යවේදීන් ප්‍රශ්න විමසන ලීලාව පවා ගැටලුසහගතය.

'මොකක්ද පර්පස් එක... මාළු කපන්න නෙවේනේ?'

යනාදී ලෙස ආවේගය ඇඟට ගෙන සමහරු අමාත්‍යවරයාව ප්‍රශ්න කරයි. අමාත්‍යවරයා තමා දන්නා 'සිංහලෙන්' උත්තර දෙන්න වෑයම් කරයි. ඊට වඩා උස්ව මාධ්‍යවේදීන්ගේ ස්වරය ඇසේ.

ඔහුට කතා කරන්නට ඉඩ දුන්නා නම් සමහරවිට බොහෝ දේ හෙළිදරව් කරගන්නට තිබිණි. මක් නිසාදයත් ඔහු මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාය. මේ සිදුවීම් සම්බන්ධව ඔහුට පැහැදිලිව මැදිහත් වන්නට යුතුකමක් තිබේ. වගකීමකුත් තිබේ. ඇල් මැරුණු නිද්‍රාශීලී මුණිවත රැකීමකට වඩා ඔහු ක්‍රියාශීලී සක්‍රිය මැදිහත්වීමක් කළ යුතුව තිබිණි.

ඒ ඒ විෂයන් සඳහා අමාත්‍යවරු පත්කොට තිබෙන්නේ ඒ ඒ විෂයන්වලදී මැදිහත් කාර්යභාරයක් ඉටු කරන්නට විනා පුටුවක ඉඳගෙන මුනිවත රකින්නට නොවේ.

විකෘති කරගත් ආගමික සංවිධාන ක්‍රියාත්මක වන බව විෂය භාර ඇමැති ලෙස ඔහු දැන සිටිය යුතුය. ත්‍රස්ත කල්ලිය නිර්මාණය වන්නේ 'ආගමේ නාමය' පෙරට දමාගෙනය. එබැවින් ඔහු සතුව වගකීමක් තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා කීවාය කියනු ලබන කතාවක්ද මීට වඩා බරපතල ලෙස මාධ්‍ය තුළ හුවමාරු විය.

ඔහු සැබවින්ම ප්‍රකාශ කළේ 'පසුගියදා අනතුරට පත් දරුවෝ විශාල පිරිසක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය හිමිවන බවත්ය. මෙතෙක් ඊට දායක නොවූ අයටත් ඊට දායක වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

නමුත් කතාව ගියේ 'පාසල් එන්න, මැරුණොත් සුරක්ෂා ගෙවනවා' කියාය.

විකෘති වන්නේ එහෙමය.

පසුගියදා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු බැංකොක්හි කාන්තාවක සමඟ වීදියක සංචාරය කරන ඡායාරූපයක් සමාජ ජාලවල සංසරණය විය. බොහෝදෙනා එය 'මඩක්' ලෙස පාවිච්චි කළහ. එහෙත් ටික වේලාවකින් හෙළි වූයේ ඒ කාන්තාව මන්ත්‍රීවරයාගේ පවුලේ සමීපතම හිතවතියක් බවත් ඈ සමාජ කටයුතුවල යෙදෙන විවාහක කාන්තාවක් බවත්ය.

කටකතා, මඩ, බේගල් ටොන් ගණන් පටවාගෙන සමාජය භේදභින්න කිරීම තරම් අධම ක්‍රියාවක් තවත් නැත. එයින් ලබන තාවකාලික තෘප්තිය විනාශයක් දක්වා ලෝකය රැගෙන යයි. වචනයක් විකෘති කළ විට විය හැකි විනාශයද සුළුපටු නොවේ. ආගමක් විකෘති ලෙස ගෙන නටන නාඩගම දෙස බලන විට එය තේරුම්ගත හැකිය.

ප්‍රකෘතිය විකෘතියක් බවට පෙරළීම පහසුය. එහෙත් විකෘතිය ප්‍රකෘති කිරීම අපහසුය.

මාතෘකා