මිතුරා ගැන බලා ගන්න

මිතුරා ගැන බලා ගන්න

ඉපදෙන විට කිසිවෙක් ත්‍රස්තවාදියකු, අන්තවාදියකු, සාන්තුවරයකු, දේශපාලකයකු ලෙස මූද්‍රා තබාගෙන බිහිවන්නේ නැත. ඔහු සමාජානුයෝජනය සිදුවන ආකාරය අනුව ඔහුගේ පැවැත්ම තීරණය වෙයි. ඒ අනුව මිනිස් ජීවිතයේ ක්‍රියාකාරීත්වය තීන්දු වන්නේ සමාජය සහ කාලය අනුවය.

අදට වසරකට පෙර ඉන්දුනීසියාවේ සුරබයා නගරයේ කතෝලික පල්ලි තුනක බියගුලු සිදුවීමක් වාර්තා විය. එය හරියටම මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පල්ලි තුනක සිදුවීමට බෙහෙවින්ම සමාන සිදුවීම් මාලාවක් විය.

සුරබයාහි පල්ලි තුනක් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළහ. ඒ ප්‍රහාරයට එක් වූ සියලුම දෙනා එකම පවුලේ සාමාජිකයෝය. ඩිටා සුප්‍රින්තෝ නැමති ප්‍රධාන ත්‍රස්තයා පුජී නැමැති සිය බිරිය සමඟ යුසුෆ් (18), ෆිර්මන් (16), ෆාඩිලා (12) පැමලා (09) යන දරුවන්ද සමඟ මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළහ.

මේ සාහසික ප්‍රහාරයෙන් පසුව ලෝකයම තැති ගත්තේය. එකම පවුලේ තමන්ගේම කිරිකැටි දරුවන්ද කරපින්නාගෙන 'අනෙකා මරාගෙන දෙවියන්කරා යෑම' නැමති අමානුෂික අන්ධ විශ්වාසය ඩිටා තුළ විය. තමන්ගේ ආගම ලොව තිබිය යුතු එකම ආගම බවත් සෙසු ආගම් සහ මිනිසුන් තුරන් කළයුතු බවත් ඔහු දැඩිව අන්ධ භක්තියකින් විශ්වාස කළේය.

එය මොනතරම් කෲර මිථ්‍යාවක්ද යන්න අංශුමාත්‍රික මනසක් තිබෙන්නකුට වුවද වැටහෙතත් අන්තවාදයෙන්, ජිහාඩ්වාදයෙන්, ත්‍රස්තවාදයෙන් මොළය සේදී තිබෙන කල ඒ කිසිදු සත්‍යයක් වැටහෙන්නේ නැත.

ඩිටා විසින් එල්ල කළ මහා අපරාධයෙන් පසුව ඔහුගේ මිතුරකු වූ අහමඩ් ෆයිස් මෙලෙස පැවසීය.

'මට මේ ගැන එක අතකට පුදුම නෑ. මොකද ඩිටා පාසැල් කාලෙත් උත්සාහ කළේ අන්තවාදියෙක් වෙන්න. ඔහු කවදත් කීවේ අනෙක් හැමෝම යක්ෂයෝ, තමන්ගේ ආගම පමණයි සත්‍ය කියලා. ඔහු පාසැල් කාලයෙන් පස්සේ අන්තවාදය ඉගෙන ගන්නත් ගියා.'

අහමඩ් සිය මිතුරා ගැන පැවසීය.

තමාගේ සමීපතම මිතුරා ඒකාන්තවම වැරදි මඟක යන බව අහමඩ් දැන සිටියේය. එක්කෝ ඔහුගේ නොතේරුම්කමට හෝ නොදන්නාකමට අහමඩ් සිය මිතුරා සුමඟට නොගත්තේය. එක්කෝ අහමඩ් සිය මිතුරාට යන අතක යන්නට දී තමන්ගේ වැඩක් බලා ගත්තේය. අවසානයේදී ඔහු මහා ව්‍යසනයක් සිදු කළේය.

සමීපතම මිතුරාගේ අසීමිත පරිවර්තනය ගැන කිසියම් අවබෝධයකින් සිටින්නෙක් වෙත්නම් බොහෝ ව්‍යසන අවම කරගැනීමට හෝ නවත්වා ගැනීමට හැකිය. එහෙත් නොසැලකිල්ල, නොදැනුම්වත්කම වැනි හේතු මත එය ගිලිහී යයි. නූල කැඩී යන සරුංගලයක් යන අත සිතාගත නොහැකිය. එය පාලනයෙන් මිදී ඕනෑම ඉසව්වකට ඇදී යයි.

පසුගියදා බෝම්බ ප්‍රහාර මාලාවට එක් වූ බොහෝ දෙනා එකම පවුලේය. අන්ධ විශ්වාසය විසින් ඔවුන් රටක් මහා ව්‍යසනයකට ඇද දැමූහ.

අන්තවාදයේ විෂ දළ පහර වදින්නේ හෙමිහිටය. ඒ විෂ ශරීරගත වූ විට ඔහුට වෙනත් කිසිවක් නොපෙනේ. පෙනෙන්නේ ප්‍රකෝපකාරිත්වය, විනාශය සහ ඝාතනයයි.

මොළ සේදී අන්ධ විශ්වාස කරපින්නා ගත්විට ඔහු කරන විනාශය දන්නේ ඔහුම පමණි. එබැවින් ආසන්නතම මිතුරාට හෝ සමීපතම ගුරුවරයාට පවා විශාල කාර්යභාරයක් පැවරේ. ඔහුගේ වෙනස්වීම්, ඔහුගේ මත්වාද, ඔහුගේ ඇවතුම් පැවතුම් වඩාත් සාධනීයව වටහාගත හැක්කේ සමීපතයන්ටය.

මේ දිනවල බොහෝ පිරිස් අත්අඩංගුවට ගනිමින් සිටී. ත්‍රස්තවාදී පන්නයේ පිරිස්ද ඒ අතර වෙති. ඒ සමඟම සැකකරුවන්ද අත්අඩංගුවට ගනී. දෙපිරිසටම ත්‍රස්තවාදී ලේබලය අලවා එකම තරාදියට දැමීම එතරම් සාධාරණ නොවේ. එයින් සිදුවන්නේ ඔහුද නිරායාසයෙන් 'අන්තවාදයට' නැඹුරු වීමය.

විපතට පත්වූවන් වෙනුවෙන් කටයුතු කරනවා සේම මේ නොමඟ ගිය අන්තවාදීන් ප්‍රශස්ත ලෙසත් විශ්වසනීය ලෙසත් පුනරුත්ථාපනය කිරීම නොවලහා කළ යුතුය.

මාතෘකා