අන්තවාදියා ආපසු හරවමු

අන්තවාදියා ආපසු හරවමු

මැයි පළමුවැනිදා උදා විය. එය ලෝක කම්කරු දිනයයි. එය සාමාන්‍යයෙන් කම්කරුවාගේ දවස බව සැබවි. එහෙත් එය දේශපාලන ව්‍යාපාර විසින් ගිලගෙන ඇති නිසා කම්කරුවන්ට සිදුව තිබෙන්නේ දේශපාලකයන් යන පෙරහැර දෙස බලා ඉන්නටය.

අනෙක් අතට සාතිශය බහුතරයක් සසල වී ගිය, තවත් සුළු පිරිසක් 'කාලකන්නි සතුටක් විඳි' මහා ඛේදවාචකයක අඳුර තවමත් නිමා වී නැත. වේදනාව හදවතට දැනුණු මිනිස්සු තාමත් හිස ඔසවා බලා නැත. බිමට නැඹුරු වූ දෙනෙත් එහෙමමය.

මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ. තැනින් තැන යම් යම් සැකකටයුතු දෑ ද හමුවෙයි. සැකකටයුතු පුද්ගලයෝද ඒ අතර වෙති.

සිදුවූ බියගුලු සහ සාහසික අපරාධය හේතු කොටගෙන හෝ මේ කරනු ලබන මෙහෙයුම් සහ සෝදිසිය අගය කළ යුතුය. ආරක්ෂිත, නිදහස් රටක් උදෙසා එය අත්‍යවශ්‍යය.

ඒ එක්කම තවත් දෙයක් සිහිපත් කළ යුතුය. පසුගිය ත්‍රස්ත ප්‍රහාරය අන්තවාදීන්ගේ වැඩකි. එවන් ත්‍රස්ත අන්තවාදීහු සමාජයේ බොහෝ සිටිති. එය අයි එස් අයි එස් පමණක් සේ සලකා බැහැර කළ හැකි නොවේ.

සමාජය සහ පුරවැසියා භීතියට පත් කරන, අනෙකාගේ නිදහස සාහසික ලෙස උදුරා ගන්න කවුරුත් ත්‍රස්තවාදී සහ උන්මත්තක අන්තවාදී කොටසක් ලෙස සැලකීමෙහි වරදක් නැත.

එමෙන්ම ඉකුත් සිදුවීම් මාලාවෙන් පසු තවත් යම් යම් අන්තවාදීන් නැවත හිස එසවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. සිදුවූ සිදුවීම පලිහක් බවට පත්කරගෙන ස්වකීය 'අන්තවාදී' මතවාද ඒ මතින් කරළියට ගෙන එන්නට යත්න දරන පිරිසක්ද සිටිති.

අන්තවාදය ඉස්ලාම්ද, කතෝලිකද, බෞද්ධද කියා වෙනසක් නැත. අන්තවාදීන් ස්වකීය ආරක්ෂාව උදෙසා පෙරට දමා ගන්නේ ආගම හෝ දර්ශනයය. ඒ ආවරණයට මුවා වී ඕනෑම වියරු නාඩගමක් නටන්නට ඕනෑම කෙනකුට හැකියාව තිබේ.

අන්තවාදයට පෙරළා අන්තවාදයෙන්ම උත්තර දෙන්නට යමෙක් හෝ කණ්ඩායමක් උත්සාහ කරනවා නම් ඒ උත්සාහයද ලත් තැනම ලොප් කළ යුතුය. නවතා දැමිය යුතුය.

පසුගිය සිදුවීම්වලින් කම්පිත වූ මිනිස්සුන්ගේ 'සසල වීම්' තවත් පිරිසකගේ දුෂ්ට ගමනාන්තය සහ කැත අරමුණු වෙනුවෙන් පාලමක් බවට පත් කර ගන්නට උත්සාහ කරන සමහරු මේ අතර සිටිති.

ඔවුහු මාධ්‍ය හමු තියති. ප්‍රකාශ නිකුත් කරති. පාරම්බාති. ගහමරා ගන්නට වහසි බස් දොඩති. උජාරුවෙන් අනෙකාට පහර දෙති.

අන්තවාදයකින් පෙරට ආ ජාතියක් හෝ රටක් නැත. එබැවින් සියලු අන්තවාදීන් විධිමත්ව පුනරුත්ථාපනය කළ යුතුමය. එසේ නොමැති විට සිදුවන්නේ සමාජ දේහය පුරාම පිළිල හට ගැනීම පමණි. කොයි කවුරුත් දැමූ විෂ බිඳෙන් බිඳ එක්වී හලාහළ විෂ සමාජයේ විසිරී ඇත. ඒවා පරමාණුවලට වඩා බලවත්ය.

මේ දිනවල තැනින් තැන මතුවන සහ හමුවන අන්තවාදී කොටස් පුනරුත්ථාපනය සඳහා නිසි වැඩපිළිවෙළක් නොවළහා ආරම්භ කළ යුතුය. පළමු තත්්පරයේම එය කඩිනම් කළ යුතුය.

සමාජයේ සාමාන්‍ය පැවැත්ම උදෙසා සුදුසු තත්ත්වයට ඔවුන් පත් කිරීම ඉක්මනින් එහෙත් විධිමත්ව කළ යුතුය. ත්‍රස්තයන් සොයා මෙහෙයුම් දියත් කිරීම පිළිබඳව ප්‍රසාදය හිමිවිය යුතු අතර වෙනත් වේශයකින් මතුවන කල්ලිද සාකල්‍යයෙන්ම සෙවිය යුතුය. හොරා හොරා කියා; අනෙකාට අත දිගු කරන්නෙත් හොරෙක් නම් ඒ අත දිගුකළ හොරාද අත්හැරිය යුතු නොවේ.

එක් අන්තවාදී කණ්ඩායමක් මැඩපවත්වන විට වෙනත් වේශයකින් මතුවන අන්තවාදීන්ද මැඩලිය යුතුය. කොයි අන්තවාදියාත් සමාජ පිළිලයකි.

නෙක නෙක ගස් තිබිය යුතුය. නෙක නෙක මල් තිබිය යුතුය. ලෝකය චමත්කාරජනක වන්නේ විවිධ වූ විටය. එහෙත් අන්තවාදය විවිධත්වයක් නොවේ. එය කෙළවර වන්නේ ත්‍රස්තවාදයෙන් නම් ඊට පෙර ක්‍රියාත්මක වීම වගකීම් දරන්නන්ගේත් පුරවැසියාගේත් අයිතියය.

මාතෘකා