යොවුන්පුරය

යොවුන්පුරය

වඩාත් ප්‍රකට කතාව වන්නේ මෙරට තරුණයෝ දෙවරක් තීරණාත්මකව අසාර්ථක කැරලි දෙකකින් පරාජය වූ කතාවය. එහෙත් එහි පරාජය යන්න අර්ධ සත්‍යයකි. අවි බලය අද්දර ඔවුහු පරාජය වූ බව සැබවි. නමුත් මතවාදීමය වශයෙන් තරුණයන්ගේ අරගලය තවමත් අනවරතව පවතී.

ඒ කෙසේ වුව ඵෙතිහාසිකව මෙරට තරුණ පරපුර තීරණාත්මක සමාජ දේශපාලනික ආර්ථික මැදිහත්වීම් සිදුකොට තිබේ. එකී ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුය.

තරුණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ මැදිහත් වීම සිදුකරන ප්‍රමුඛතම ආයතනය ජාතික තරුණසේවා සභාවයි. එය මුල්කොටගෙන තාරුණ්‍යය වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ. ඊයේ ආරම්භ වූ යොවුන්පුරයද තාරුණ්‍යය ඉලක්කකොටගෙන පැවැත්වෙන ප්‍රශස්ත කාර්යයකි.

පක්ෂ පාට, කුලගොත්වලින් විනිර්මුක්ත යෞවන යෞවනියෝ දහස් ගණනක් මීට එක් වෙති.

ලාංකික තරුණ තරුණියන්ට ජාතික සංහිඳියාව හා සම්මුතිවාදය පිළිබඳ අවබෝධයක් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විදේශීය තරුණ තරුණියන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් අවස්ථා ලබා දීමත් මෙහි මුඛ්‍ය අරමුණ වෙයි. ජාතික සංවර්ධනයේ පැතිකඩ පිළිබඳ තරුණ තරුණියන් අතර සංවාද ඇති කිරීම තුළින් තරුණ අදහස් හා යෝජනා ලබා ගැනීම, තරුණ තරුණියන් අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කර ගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, විනෝද වැඩසටහන් සාමූහිකත්වය සහ සහජීවනය පදනම් කරගත් ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබාදීම, මතින් තොර තරුණ පරපුරක් බිහිකිරීම සදහා තරුණ පරපුර දැනුවත් කිරීම යනාදිය එහි අනුශාංගික අරමුණු අතර වෙයි.

මේ රටේ සාමාන්‍යයෙන් පවත්නා දේශපාලන බල අරගලය තුළ යහපත් කටයුත්තක් දෙස වුවද 'දේශපාලනික අර්ථයෙන්' බලා ඊට පාට ඇලවීම සාමාන්‍ය ස්වරූපයයි. මුල්ම 'යොවුන්පුරය' පොළොන්නරුවේදී ආරම්භ කරන විට එවක විපක්ෂ කණ්ඩායම් ඊට පරිභව කළේ 'ගොන්පුරය' කියාය. මෙරටට ඇඟලුම්හල් හඳුන්වා දෙන විට 'සුද්දන්ට යට ඇඳුම් මහන්න මේ රටේ තරුණියෝ ඩැහැගන්නට යනවාය' කියා පහත් පන්නයේ මතයක් රට පුරා ප්‍රචාරය කරනු ලැබීය.

එය සාමාන්‍ය ස්වභාවයයි.

ලොව පුරා තාරුණ්‍යයේ සාමාන්‍ය ස්වරූපය වන්නේ මුසපත් බවයි. ක්ෂණික තීන්දු තීරණ ගැනීම සේම අධිවේගී ජීවන රටාවත් කෙළිලොල් බවත් තාරුණ්‍යයේ ස්වභාවයයි.

එලෙස පෙරට එන තරුණ ජවයට එරෙහිව පාලකයන් අවි එසවීම සහ පීඩාව මුදා හැරීම ලොව කොයි පාලන ක්‍රමයේත් ස්වරූපයයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1949 ඔක්තෝබර් 1 වැනිදා ජපන් අධිරාජ්‍ය පළවා හැරීමෙන් පසු චීනය සමාජවාදී රාජ්‍යයක් බවට පෙරලුණි. 1978 වන විට චීනය නව වෙළෙඳපොළට දොරගුළු විවර කළේය. නව ආර්ථික මොඩලයෙන් චීනයට වසන්තය උදා වූයේ නැත. සුදුසුකමට රැකියා නැතිවීම, සුළුතරයක් මහා ධනවතුන් බිහිවීම, උපාධිය පාදුහුවිල්ලක් තරමට මායිම් නොකිරීම, දූෂණ ඉහවහා යෑම චීන පොළව පුරා පැතිරුණු අතර ඊට එරෙහිව තැන තැන නැඟෙන ජනතා රැල්ලට එරෙහිව බියපත් වූ වියපත් පාලකයෝ අසිපත් අතට ගත්හ.

89 අවුරුද්දේ අප්‍රේල් මාසයේ චීන සරසවිවලින් පීඩාව පුපුරා ගියේය. සටන් පාඨ ලියූ දහසක් සිසුන් බේජිං අගනුවර තියානන්මන් චතුරස්‍රය හා ඒ අවට මංමාවත්වලට කඩා වැදුණහ.

මාර්ෂල් නීතිය රැගෙන ආ චීන බලධාරීන් ස්වයංක්‍රිය අවි සමඟ යුද ටැංකි රැගෙන විත් 'සමනල දඩයම' පටන් ගත්හ. සාධාරණ සමාජයක් පැතූ නිරායුද දරුවන්ගේ රතු ලෙයින් චතුරස්‍රය තෙත් වූ අතර පිටුපා යන දරුවන්ගේ පිට පසාරු කරමින් උණ්ඩ පිටවිය. නිරායුද සමනල්ලු හිස් ලූලූ අත පලා ගියහ.

මියගිය සිසුන්ගේ නිවෙස්වලට ලිපි ලැබිණි.

'ඔබේ දරුවා දේශද්‍රෝහී කටයුත්තක යෙදී සිටියදී වෙඩි වැදී මිය ගිය අතර ඊට වියදම් වූ පතරොම් ගාස්තුව වහාම ගෙවන ලෙස දන්වා සිටිමු.'

තරුණයන් පිළිබඳව එහෙවු ඉතිහාස කතාද තිබේ.

එවන් ලෝකයක් තුළ පවා මෙවන් 'යොවුන්පුරයක්' පැවැත්වීම ආශ්වාදයක්ය.

මාතෘකා