අසාධාරණ වරද

අසාධාරණ වරද

“මා නොවන සියල්ල පරිසරය’’ යැයි ඇල්බට් අයින්ස්ටයින් කියා තිබේ. ‘‘වාතය, ජලය සහ භූමියට අදාළ යමක් හෝ සියල්ලම පරිසරය’’ වන බව 1990දී සම්මත කර ගත් බ්‍රිතාන්‍ය පරිසර ආරක්ෂණ පනත පෙන්වා දෙයි.

කෙළවරක් නැති තරමට කතාකොට ඇති මාතෘකා අතරෙහිලා 'පරිසරයද' හැඳින්විය හැක. මානව සංහතියේ පැවැත්ම උදෙසා අතිමහත් කාර්යභාරයක් ඉටු වන්නේ පරිසරයෙනි. එබැවින් ජීව සංහතියේ තීරණාත්මක සාධකයක් ලෙස පරිසරය සැලකේ.

පරිසරය සමඟ එකට ඈඳෙන තවත් වචනයක් වන්නේ දූෂණයයි. ඒ තරමටම පරිසර දූෂණය උග්‍ර තත්ත්වයක පවතී.

අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම මෙන්ම ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය ආදිය නිසා පරිසර දූෂණය බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

‘‘දූෂණය යනු මහජන සෞඛ්‍යයට, ආරක්ෂාවට හෝ සුභසිද්ධියටත් සතුන්ට, කුරුල්ලන්ට, ජලජ ජීවීන්ට, වන ජීවීන්ට හෝ ඕනෑම ආකාරයක ශාකයකට උපද්‍රවකාරී ආකාරයෙන් හෝ විභවාත්මක උපද්‍රවකාරී ආකාරයෙන් යමක් කිරීම හෝ අපද්‍රව්‍ය විමෝචනය කිරීම හෝ තැන්පත් කිරීමාදියෙන් පරිසරයේ ඕනෑම කොටසක ද්‍රව්‍යමය, තාපමය, රසායනිකමය, ජෛවමය හෝ විකිරණශීලී ස්වභාව තත්ත්වයන් සෘජු ආකාරයෙන් හෝ වක්‍රාකාරයෙන් විපර්යාසයකට ලක්කෙරෙන ඕනෑම තත්ත්වයක්’’ බව දූෂණය යනු කුමක්ද? යන්න යටතේ අංක 47 දරන 1980 ජාතික පරිසර පනතේ දැක්වේ.

‘‘අනාගත පරම්පරාවේ අවශ්‍යතා පරදුවට නොතබමින් වර්තමානයේ අවශ්‍යතා සාධනය කර ගැනීම’’ තිරසාර සංවර්ධනය වන්නේ යැයි 1987 පරිසර සහ සංවර්ධන ජගත් කොමිසම පෙන්වා දෙයි. එහෙත් අනාගත පරපුර තබා වර්තමාන පරපුරත් බලවත් ගැටලු රැසකට මුහුණ පා සිටී.

පවත්නා තත්ත්වය යටතේ ඉතා වේගයෙන් වන ගහනය නිමාවෙමින් තිබේ. සිත්පිත් නැති ලෙස සිදුකරන වන විනාශයෙහි ඉතාම ආසන්න ප්‍රතිඵලය නුදුරු 2035දී කාන්තාරයක් වූ කොදෙව්වක් බවට මෙරට පත් වෙමින් අත්කරදෙනු ඇත. වන විනාශයේ වේගය ඒ තරම්ම අනුවේදනීයය.

අති සංවේදී පරිසර කලාප මේ වන විටත් සසල වී තිබේ.

ප්ලාස්ටික් භාවිතය අතින් ලොව පස් වන තැනට ලංකාව පත් වන්නේ මීට වසර දෙකකට පෙරය . සාමාන්‍යයෙන් එක් දිනක් තුළ මිලියන 4ක ෂොපින් බෑග් පරිසරයට හෙලන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වේ.

පොලිතීන් සේම බාල, ලාභ චීන සෙල්ලම් බඩුද මෙරට පරිසර අවකාශයේ වැඩි ඉඩක් උදුරාගෙන තිබේ.

ශබ්ද දූෂණය අතින්ද ශ්‍රී ලංකාව පෙරමුණේ සිටී. රියැදුරු අසුන වෙනුවට සුක්කානමේ නළාව මත වාඩි වී යන රියැදුරෝ බොහෝ පිරිසක් මෙරට සිටිති. මොනතරම් වැටලීම් කළත් දඬුවම් කළත් ඉන් ඵලක් නැත.

ලෝක ජනගහනයෙන් පුද්ගලයන් දහ දෙනකු අතරින් නව දෙනෙකු ජීවත් වන්නේ ජීවත් වීමට නුසුදුසු අහිතකර වාතාශ්‍රයකින් යුතු පරිසරයක බවත් සෑම වසරකම ජනගහනයෙන් මිලියනයක් පමණ මරණවලට හේතු වන සාධකය වායු දුෂණය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 92%ක් පමණ වූ ලෝක ජනතාව ජීවත්වන්නේ පිළිගත් පරිසර ප්‍රමිතීන් ඉක්මවා ගිය වායු දූෂිත පරිසර පද්ධතියකය.

පරිසර සංරක්ෂණය සඳහා වන ජාතික වැඩපිළිවෙළ අතිශයින්ම ප්‍රශස්ත වෑයමක් බව නොවළහා කිව යුතුය. එය වත්මන් රජය විසින් ආරම්භ කරන ලද්දක් වන අතර ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නකි. ලංකාව යනු තෙවරක් කැරලිවලට තීරණාත්මකව මුහුණ දුන් රටකි. ඒ කැරලිවලට අදාළ පාර්ශ්වවලට කුමක් හෝ සාධාරණ හේතුවක් තිබිණි. එහෙත් පරිසර විනාශය සම්බන්ධව සාධාරණ හේතු තිබිය නොහේ. පරිසරය විනාශ කිරීම අසාධාරණ වරදකි.

මාතෘකා