අල්ලසට දූෂණයට එරෙහිව

අල්ලසට දූෂණයට එරෙහිව

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගෙනහැර පාන ඉතාම අවධානයට ගත යුතු කාරණාවක් තිබේ. ඒ, රජයේ ආයතන අතරින් වැඩිම අල්ලස් ගන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඉඩම් හා ග්‍රාම නිලධාරි කාර්යාලයන් යැයි කියන කාරණාවය. එහි දෙවැනි තැනට පොලිස් දෙපාර්තමේන්තුවත්, තෙවැනි තැනට අධ්‍යාපන අමාත්‍යාශයත් පත්ව තිබේ.

සාමාන්‍ය ජනතාවගේ හිස මත කෙතරම් මරාල කඩා වැටෙනවාද යන්නට හොඳම සාක්ෂියක් මෙයින් සපයයි .

වරක් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් ආණ්ඩුවේ ප්‍රමුඛ නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබූයේ දෙකෝටියක් වූ අල්ලස ගණන් කරමින් සිටියදීය. පසුගියදා විදුහල්පතිනියක් අත්අඩංගුවට ගත්තේ රුපියල් පනස් දහසක අල්ලස් ගැනීමක් නිසාවෙනි. රුපියල් පන්දහසක අල්ලසක් ලබාගෙන දඩ කොලයක් නොදී යවන රාලහාමිලා කොතෙකුත් සිටී.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිරීම මේ අවස්ථාවේදී ඉතා ප්‍රසංශා කටයුතු වන්නේ යටකී කාරණා සැලකිල්ලට ගත්කලය.

දූෂණය සහ අල්ලස සමාජ පතුළේ ගැඹුරටම කිඳා බැස ඇති බව අතිශයෝක්තියක් නොවේ. මරණයක් වූ විට දේහය පිටතට ගන්නටත් කීයක් හෝ මිට මොළවන්නට සිදුවන තරමටම පිරිහුණු මජර සමාජයක අල්ලස, දූෂණය මුලිනුපුටා දැමීම සුළුපටු අභියෝගයක් නොවේ.

අල්ලස හා දූෂණය යන්න දේශීය වශයෙන් පමණක් නොව කලාපයීය සහ ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ප්‍රශ්නගතවී ඇති විෂය ක්‍ෂේත්‍රයකි. එයට වැට බඳින්නට බොහෝ රටවල් විවිධාකාර උපාය උපක්‍රම ගත් අතර සමහර රටවල් එකී උපක්‍රම සාර්ථක කරගත් අවස්ථාද තිබිණ.

කෙසේ වෙතත් ශ්‍රීලංකාව අර්ථයෙන් ගතකල දූෂණය සහ අල්ලස තීරණාත්මක ලෙස ඉහළ ගොස් තිබෙන රටකි. තිඹිරිගෙයි සිට සුසානය තෙක් එකට බැඳී ගමන් කරන්නක් බවට අල්ලස සහ දූෂණය ඔඩුුදුවා තිබේ.

පක්ෂ මාරුවටත් කෝටි ප්‍රකෝටි ගණන් අල්ලස් දෙන අතර පක්ෂයේ රඳවා ගන්නටත් අල්ලස් දෙන්නට සිදුවන දේශපාලන ක්‍රමයක් මෙරට වෙයි.

ක්‍රීඩාව, දේශපාලනය, අධ්‍යාපනය, පොලිසිය, රාජ්‍ය සේවය යනාදී සියල්ලටම මේ දරුණු ව්‍යසනය පැතිර තිබේ.

අල්ලස දූෂණයට එරෙහි පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්ම එළි දක්වන්නේ මේ අතරය .

රටේ සෑම තරාතිරමකම සහ සැම අංශයකම අදහස් විමසීමක් මත එය නිර්මාණය කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. එය අගය කළ යුතුය. ශ්‍රී ලංකාව ඒක්සත් ජාතීන්ගේ අල්ලස සහ දූෂණය පිටුදැකීමේ ප්‍රඥප්තියට අත්සන්කොට තිබෙන රටකි. එනමුත් අවශ්‍ය ආයතනික හෝ නෛතික රාමු ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් නොතිබුණි. ඒ නිසා කුඩා කුඩා හොරකමේ සිට මහා පරිමාණ හොරකම දක්වාත්, කුඩා කුඩා අල්ලසේ සිට කෝටි ගණනක අල්ලස් දක්වාත් තත්ත්වය උග්‍රවී තිබුණි .

එවන් තත්ත්වයක් තුළ රජය ගත් මේ ප්‍රවේශය රටක් ලෙස අගය කළ යුතුය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තම පස් අවුරුදු සැලැස්ම එළිදක්වමින් සඳහන් කළේ අල්ලසට සහ දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම 19 වැනි සංශෝධනයෙන්ද සවිබල ගැන්වුණු බවයි. මේ අනුව බලන කල මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා බෙහෙවින් සුදුසු පරිසරයක් දැන් නිර්මාණයවී තිබේ.

රටක අල්ලස හා දුෂණ මුළුමණින්ම නැති කළ හැකි දෙයක් නොවන බව සත්‍යකි . එහෙත් අල්ලස් හා දුෂණය ඇතිවීම කෙරෙහි බලපාන අවසාන කරුණ ලෙස සමාජ ක්‍රමය ආර්ථික හා සමාජයීය වශයෙන් නවීකරණය කිරීම පෙන්වා දියහැක.

රජ්‍ය සේවයේ ප්‍රමාදය නැති කිරීම සඳහා පියවර ගැනීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ අනෙකුත් සේවා පහසුකම් වැඩි කිරීම, රාජ්‍ය සේවකයින් සඳහා සේවා චර්යා පද්ධතියක් සකස් කොට එය දැඩිව ක්‍රියාවට නැංවීම, පවරන ලද බලය සහිතව මිස රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශය සමඟ ගනුදෙනු කිරීම තහනම් කිරීම, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරවල ගිණුම් සවිස්තරාත්මකව සහ විවෘතව තබා ගැනීමට බලකෙරෙන නීති පැනවීම, ඉහළ විධායක තනතුරු සඳහා පුද්ගලයින් පත්කිරීමේ දී චරිත ඒකාග්‍රතාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීම, සේවා කාලය තුළදී හෝ සේවාවෙන් විශ්‍රාම ගොස් යම් කාල ප්‍රමාණයක් ගතවන තෙක් රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ තනතුරු දැරීම තහනම් කිරීම, බදු ක්‍රමය නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම, අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය සහාය ලබා ගැනීම සහ අල්ලස් හා දුෂණවලට හසුවන ඕනෑම අයකුට තරාතිරම නොබලා නීතියට අනුකූලව දැඩි දඬුවම් පැමිණවීම යනාදිය මෙම නිරෝධායන ක්‍රියාමාර්ග අතර වැදගත් වේ.

මාතෘකා