ජිනීවා කටගැස්ම

ජිනීවා කටගැස්ම

මේ දිනවල ආණ්ඩු විරෝධී පාර්ශ්ව කටගැස්මට ගෙන තිබෙන්නේ ජිනීවාය. ඊට හේතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 40 වැනි සම්මේලනය එහි පැවැත්වීමය. පාර්ලිමේන්තු වාද විවාදවලදීද රටේ විවිධ තැන්වල ජන සහභාගිත්වයෙන් පැවැත්වෙන රැස්වීම්වලදීද මේ ගැන නොයෙක් දේ කියැවෙයි.

මේ බොහෝ පාර්ශ්වවල අරමුණ ජිනීවා භීතියක් ඇති කිරීමය. "ව්‍යවස්ථාව කන්ඩදැයි" අසන මහාචාර්යවරුන් ජීවත් වන රටක; “මානව හිමිකම් කන්ඩදැයි" අසන මිනිසුන් ජීවත්වීම අරුමයක් නොවේ.

හුදෙකලා පැවැත්මක් නොමැති නූතන මිනිසා සමාජ සත්ත්වයෙකි. ඔහු සම්මුති රැකීමට බැඳී සිටී. මේ සම්මුති ශිෂ්ටසම්පන්න පැවැත්මක් වෙනුවෙන් ඇතිකරගත් ඒවාය. හිංසනය පිටුදැකීම හා සහජීවනය එසේ ඇති කරගත් සම්මුතියකි.

මෙබඳු සම්මුතීන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දෙවර්ගයකි. ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව කිසිදු රටකට හුදෙකලා පැවැත්මක් නැත. එවැනි ප්‍රජාවන් සිටිය හැක්කේ ඇමේසන් වනාන්තරයෙහි තවමත් හඳුනා නොගත් ප්‍රදේශවල පමණි. ඔවුන්ද වඳවී යෑම වැළැක්විය නොහැක.

අප ජිනීවා මානව හිමිකම් කමිටුව දෙස බැලිය යුත්තේ එවැනි සන්දර්භයක සිටය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. එමෙන්ම අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස් වුවද ආර්ථික නිදහස ලැබූ රටක් නොවේ. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන ගණනාවකින් ලබා ගන්නා ණය පොම්ප කිරීමෙන් ජාම බේරාගන්නා රටකි.

එවැනි ණය, ප්‍රදාන සහ උපදේශන සේවා ඇතුළු බොහෝ දේවල් ලැබීම සඳහා යහපත් ආණ්ඩුකරණයක් පැවතීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

යහපත් ආණ්ඩුකරණය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම යන සංකල්පවලට පෙරපර දෙදිග සීමා මායිම් නොමැත. ඒවා මනුෂ්‍යයාගේ යහපත පිණිස මනුෂ්‍යයන් විසින්ම පවත්වාගෙන යනු ලබන සම්ප්‍රදායෝ වෙති.

එමෙන්ම ඒවා බටහිර රටවල් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් හඳුන්වා දුන් සංකල්පද නොවේ. උදාහරණයක් වශයෙන් බුදු සමය අනුව හැඩ ගැසුණු දීර්ඝ සමාජ දේශපාලනයක් උරුමව පවතින මෙරට ජනතාවට මානව හිමිකම් ආරක්ෂා කෙරෙන බෞද්ධ ඉගැන්වීම් කිසිසේත්ම ආගන්තුක නොවේ. දසරාජ ධර්මය යනු යහපත් ආණ්ඩුකරණය පිළිබඳ බෞද්ධ විග්‍රහයයි. එහෙයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරන ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා මුල්වන කරුණු සහ දේශීය සම්ප්‍රදායන් අතර ගැටුමක් නොමැත. අරෝවක් නොමැත. එය ගෝනි බිල්ලකු ලෙස දැකීම යනු අශිෂ්ටකමකි. ජනතාව ගොනාට ඇන්දවීමකි. දේශපාලන අවස්ථාවාදයකි.

පාලකයන් ශිෂ්ට සම්ප්‍රදායන් සහ සම්මුතීන් කඩ කිරීම නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. පසුගිය සියවසෙහි ඒ සඳහා දැක්විය හැකි ලොකුම උදාහරණය දෙවැනි ලෝක සංග්‍රාමයයි. යුද්ධයකදී කවුරු දිනුවත් මනුස්සකම පරාජයට පත්වෙයි. එනිසා යුද්ධයකින් පසුව සිදුකළ යුත්තේ නැවත එවැනි තත්වයක් ඇති නොවන පරිදි අවශ්‍ය දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ දියත් කිරීමයි. වින්දිත පාර්ශ්වවලට සිදුවූ හානි පූරණය සඳහා ප්‍රමාණවත් වන්දියක්ද ගෙවිය යුතුය. අතුරුදන්වූවන් ගැන සොයා බැලිය යුතුය. සහජීවන ආකල්ප වගා කළ යුතුය. රට එක්සත් කිරීම ඒ සඳහා ඇති එකම මඟයි. රටට ඔබින ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුත්තේ ඒ අනුවය.

හිංසනයෙන් තොරව ජීවත්වීම සැමගේ අයිතියකි. ඒ අයිතිය ආරක්ෂා කළ යුතුය.

30 වසරක යුද්ධය නිමා කළ රටක් හැටියට සිදුවූ ගරාවැටීම්වලට විසඳුම් යොදමින් සංහිඳියාව ස්ථාපිත කළ හැක්කේ අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ජිනීවා සම්මේලනයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනා රටේ අනාගතය සඳහා ලැබෙන ආශිර්වාදයක් බවට පත් කරගත හැක්කේ එයට අවිචාරයෙන් පහරදීමෙන් නොවේ. රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙනි. අවිචාරයෙන් පහර දීම සහ ගෝනිබිල්ලන් මැවීම දේශපාලන අවස්ථාවාදීන්ගේ උගුලකි.

2015 වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ තිබුණේ අඳුරු චිත්‍රයකි. ඊට හේතුව එවක පැවති දුර්දාන්ත පාලනයයි. යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග අඳුරු චිත්‍රය වෙනස් විය.ඒ අනුව ජාත්‍යන්තරයද ශ්‍රී ලංකාව දෙස බැලුවේ යහපත් ආකල්පයකිනි. ජිනීවා සම්මේලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක සිටි ස්ථාවරය තරමක් වෙනස් කළේය. එනිසා මෙවර රටට අහිතකර තත්ත්වයක් ඇති වේ යැයි සිතිය නොහැක. එහෙත් කැලේ නීතිය අනුව රට පාලනය කිරීමේ අත්දැකීම් ඇති අයට ජිනීවා යනු මාරයෙකි.

මාතෘකා