කාන්තාවන් වෙළාගත් ව්‍යසනය

කාන්තාවන් වෙළාගත් ව්‍යසනය

ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ජීවිත දරුණු ලෙස ග්‍රහණයට ගෙන ක්‍රමානුකූලව ජීවිත වනසා දමන රකුසෙකි. අවාසනාවන්තම කරුණ වන්නේ මේ මහා ව්‍යසනයෙන් බැට කන්නේ අහිංසක කාන්තාවන් වීමය. මේ කාන්තාවන් අතර යුද්ධයෙන් තම සැමියන් අහිමි වූ වැන්දඹුවෝ, දරුවන් අහිමි වූ මව්පියෝ මෙන්ම යුද්ධයෙන් පසු අලුත් ජිවිතයක් ගොඩනඟන්නට පටන් ගත් තරුණියෝද වෙති. ඔවුන්ට මේ ණය පීඩනය හමුවේ ජීවිත අතහැර ගන්නට, විවිධ සැහැසිකම් හෝ ලිංගික ගොදුරු බවට පත් වන්නට සිදුවන තරමට මෙම අර්බුදය උග්‍ර වී තිබිණි. ඔවුන්ට යම් අස්වැසිල්ලක් ගෙනාවේ රජය ඔවුන්ගේ මෙම ණය කපා හැරීමට ගන්නා ලද පියවරයි. ඒ අනුව පසුගිය සති අන්තය වන විට උතුරුකරයේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් වූ කතුන්ට සහනයක් වෙනුවෙන් රුපියල් කෝටි 12ක කැප කිරීමක් කරන්නට රජය පියවර ගත්තේය. රජය තවදුරටත් මෙම සහනය ලබා දෙමින් සිටී.

මෙම සතිය තුළ රටේ වරප්‍රසාද අහිමි කරගත් කාන්තාවන් වෙනුවෙන් දැවැන්ත මූල්‍ය කැපකිරීම් දෙකක් කරන්නට රජයට සිදුවිය. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රජයෙන් වසරක් තුළ රුපියල් බිලියන 12ක අතිරේක වැය බරක් දරන්නට සිදුවීමය. ආර්ථිකමය වශයෙන් පීඩාකාරී පසුබිමක් තුළ වැවිලි කර්මාන්තය පවත්වාගෙන යන අතරේ වතු කම්කරුවන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම එම කර්මාන්ත කරුවන්ට පූරණය කළ නොහැකි කල රජය කළේ වසරක කාලයක් යනතෙක් එම පූරණය රජය මඟින් දැරීමය. අනෙක් කරුණ වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන නියඟය ඇතුළු විවිධ අභියෝග නිසා එය ගෙවාගත නොහැකි වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් එම ණය බරින් මුදවාලීමය. මෙම සිදුවීම් දෙකේදීම නිවසේ ආර්ථිකයට දැඩි බලපෑමක් කරන අවස්ථා ද්විත්වයකි. මේ අවස්ථා ද්විත්වයේදීම පසුපස සිටින පොදු සාධකය ක්ෂුද්‍ර මුල්‍ය ණයයි. වතුකරයේ ජනතාවටද මේ වන විට මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය බලපා ඇත. එය ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමට මනස පොළඹවන එක් හේතුවක් නොවේ යැයි තර්ක කළ නොහැකිය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය යනු සාපෙක්ෂව සුළු මුදලක් කණ්ඩායම් ඇප වශයෙන් ණය ලාභීන් වෙත ලබා දීමය. පොඩි පොඩි ණය දීම් මෙරට සමූපකාර ණය දෙන සමිති හරහා කලක් නිහඬව ක්‍රියාත්මක වුවද මේ කියන ක්ෂුද්‍ර මූල්‍ය රැල්ල එන්නේ බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරයේ ව්‍යාප්තියත් සමඟය. බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරය ආරම්භ කරන්නේ මහාචාර්ය මොහමඩ් යූනුස්ය. ඒ රටේ ගිනි පොලීකාරයන්ගෙන් ගැමි පවුල්වලට එන දැඩි පීඩනය ගැන අවබෝධයක් තිබුණු මහාචාර්ය යූනුස් මෙම කුඩා කණ්ඩායම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය දියත් කරන්නේ කුඩා මට්ටමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඔවුන්ට ස්වයං ආර්ථික ශක්තියකින් නැඟී සිටිමේ හැකියාව ලබා දෙන්නටය. සැබැවින්ම ඔහු අතින් මේ අරමුණ ඉටු විය. මේ නිසා මෙම ක්‍රමය ග්‍රාමීන් ක්‍රමය සාන්තුවරයකුගේ ස්වභාවයක් මුලදී ඉසිලීය. එහෙත් කෙටි කලක් තුළ මෙම ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමයේ ව්‍යාපාරිකමය විභවය තේරුම් ගත් විවිධ ව්‍යාපාර ආයතන එය සැණෙකින් ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කර ගත්තේ ගමේ කාන්තාවන් මුල් කරගෙන ගිනි පොලියට ණය දීමේ ක්‍රමයක් විලසටය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ පුරෝගාමීත්වය දුන් මහාචාර්ය යුනුස්ද මෑතකදී පවසා තිබුණේ අප ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය නිර්මාණය කළේ ණය මෝරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට මිස අලුත් ණය මෝරුන් බිහි කිරීමට නොවන බවය.

කෙසේ වුවද ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රම කිසිසේත් සමාජයට අවැඩදායී සේනා දළඹුවකුගේ තත්ත්වයට පත් කිරීමට තරම් අප කඩිනම් විය යුතු නැත. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ දැනට මෙම ක්‍රමය තුළ පවතින ගැටලු හඳුනා ඊට විසඳුමක් ලබා දීමය.

මාතෘකා