විදෙස්ගත මහා සම්පත වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම

විදෙස්ගත මහා සම්පත වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම

'සිහින මාළිගා' යනු මේ දිනවල ඇතැම් පාර්ශ්ව උපහාසයෙන් උච්චාරණය කරන යෙදුමකි. ඊට හේතුව මෙවර අයවැයෙන් විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දුන් නිවාස ව්‍යාපෘතියයි. 'සිහින මාළිගා' මැයෙන් එය නම් කර තිබේ.

එම නිවාස ව්‍යාපෘතිය සහ ජාත්‍යන්තර ඇමතුම් මගින් අයකරගත් විදුලි සන්නිවේදන ගාස්තුව ඉවත් කිරීම විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදුන් අයවැය සහන දෙකක් හැටියට හැඳින්වීම යුක්ති යුක්තය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් බහුතරය කාන්තාවන් බව කවුරුත් දනිති. ග්‍රාමීය කෘෂිකර්මාන්තයෙහි සැලකිය යුතු දායකත්වයක් දුන්නෝ ඔවුහුය. බොහෝ අය නුපුහුණු ශ්‍රමිකයෝ වෙත්. ආර්ථිකයේ පහළම තීරුවේ ජීවත්වන ඔවුන්ගේ ජීවන අපේක්ෂාව හිසට සෙවණකි. මෙය එක්තරා සිහිනයකි. එහෙත් විවිධ හේතු මත මේ සිහිනය සඵල නොවන අවස්ථා තිබේ. එනිසා විශාල කැප කිරීමක ප්‍රතිඵල අපතේ යයි.

2019 අයවැයට පෙර පසුගිය වසරෙහි හඳුන්වා දුන් 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන බහුවිධ සමාජ තීරුවල ලාංකිකයන්ගේ ආර්ථික මට්ටම සැලකිල්ලට ගත්තේය. එය කාලෝචිත ආයෝජන ජාලයකි. එහෙත් ඔක් 26 දේශපාලන කුමන්ත්‍රණය නිසා මෙය තරමක් පසු බෑවේය. මෙවර අයවැයෙන් එම දෝෂය වළක්වා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සක්‍රිය කර ඇත. ඒ පිළිබඳ මහජනතාව අතර විශාල උනන්දුවක් හට ගෙන ඇත. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙමින් තිබෙන ප්‍රතිචාර ඉහළය.

මෙය කිසිදු රජයකින් ක්‍රියාත්මක නොකළ ප්‍රශස්ත වැඩසටහනකි.

එහෙයින් මේ පිළිබඳව මුදල් ඇමතිවරයාට පක්ෂ විපක්ෂ කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුය.

"සිහින මාළිගා" සිහිනයක් බව කියා සරදම් කිරීම කුහකකමකි.

විදෙස්ගත ශ්‍රමිකයන් උපයන ධනය රටේ සෘජු විදේශ ආයෝජන මෙන් තුන් ගුණයක වටිනාකමින් යුක්තය. එය මුළු අපනයන ආදායමෙන් සියයට 50ක ප්‍රමාණයකි. එහි වාර්ෂික අගය රු. බිලියන 10,000කට ආසන්න වේ. එහෙයින් අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් මේ පිරිස කිසි සේත්ම නොසලකා හැරිය නොහැකි මහා සම්පතකි.

සිහින මාළිගා ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 10 දක්වා ණය මුදලක් ලබා දෙයි. ණය ආපසු ගෙවීමේ සහන කාලය අවුරුදු දෙකකි. අවුරුදු 15ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ඇත. පොලී මුදලෙන් සියයට 75ක කොටස රජය විසින් ගෙවනු ලබයි.මේ අනුව සිහින මාළිගා නිවාස වැඩ සටහන විදෙස්ගත ශ්‍රමිකයන් කරන කැපවීම පිළිබඳ යථාවබෝධයෙන් සකස් කරන ලද කාලෝචිත එකකි.

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් 600කට ආසන්න සංඛ්‍යාවක් විවිධ හේතු නිසා වාර්ෂිකව මරණයට පත් වන බව වාර්තා වේ. දුප්පත්කම සමඟ අත්වැල් බැඳගත් ගැටලුද මීට බලපායි. මෙය වළක්වා ගත හැකි එක් මඟක් වන්නේ නුපුහුණු ශ්‍රමය වෙනුවට පුහුණු ශ්‍රමයට අවස්ථාව ලබාදීමයි. ඉදිරියේදී නුපුහුණු ශ්‍රමිකයන් විදෙස් රටවලට යැවීම මුළුමනින්ම නවත්වා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව තලතා අතුකෝරල ඇමතිවරිය වරක් ප්‍රකාශ කළාය. මේ තීන්දුව නිවැරදි එකකි.

මෙහිදි ආණ්ඩුවේ අවධානයට ලක්විය යුතු තවත් පැත්තක් තිබේ.එනම් විදෙස්ගත ශ්‍රමිකයන් නිසා ඇති වී තිබෙන සමාජ බිඳ වැටීම්වලට විසඳුම් ලබා දීමයි.

බොහෝ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය අඩාළ වීඇත. ඇතැම් දරුවන් විවිධ අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වේ. බිරිය එතෙර සිටින පවුල්වල පියවරු නාස්තිකාරයන් බවට පත් වී සිටිති. ඇතැම් පියවරුන් අතින් තම දරුවන් අපයෝජනයට ලක්වීමද සිදු වේ. මෙය ඛේදවාචකයකි.

මේ පවුල් සඳහා උපදේශන සේවාවක් අවශ්‍ය‍ වේ. සමාජ විද්‍යා විෂය හැදෑරූ උපාධිධාරීන් හට නිසි පුහුණුවක් ලබාදී එම කාර්යයෙහි යෙදවීම කාලෝචිත පියවරක් හැටියට යෝජනා කරමු. එය උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයටද විකල්ප විසඳුමකි.

මාතෘකා