ජාතිවාදී කුලප්පු

ජාතිවාදී කුලප්පු

වෙන්නප්පුව සභාපතිගේ කුලප්පුව අපුල දනවනසුලුය. තමන්ට අයිති නැති, අයිතියක් තිබුණත් ගෝත්‍රිකයකු විනා අන් කිසිවකු නොකරන පන්නයේ ක්‍රියාවක් ඔහු විසින් සිදුකරනු ලැබ තිබේ. එකට එකතුව එදා වේල සරිකරගත් මිනිසුන් පිරිසක් ජන වර්ගය අනුව බෙදා ඔවුනට ජීවිකාව තහනම් කිරීම කළ හැක්කේ කාටද?

අවම මට්ටමක ශිෂ්ටත්වයේ කළඳක් තිබේ නම් මෙවන් අමානුෂික තීන්දුවක් මිනිසකුට නම් ගත නොහැකිය. මේ පන්නයේ නරුමයෝ 88 කළු ජූලිය වකවානුවේ සිටියහ.

එකට කා, බී සිටිය එකාගේ කඩයට පැන කොල්ලකා ඊට ගිනි තබා කළු ජූලියක කට්ට කළුවර රටකට උරුම කළේ මෙවන් තක්කඩි පන්නයේ උන්ය. වෙනත් ජනවර්ගයකට පොළ භූමිය තහනම් කරන මේ අත්තනෝමතික සභාපතිවරයා සිය නොසන්ඩාල තීරණය සාධාරණීකරණය කරන්නේ 'ජාතික ආරක්ෂාව උදෙසා' එවැන්නක් කළ බව කියාය.

මෙතරම් ගර්හිත මුග්ධ ප්‍රකාශයක් තවත් තිබිය හැකිද?

මිනිසකුට රැකියාවක් කොට ජීවත් වීමේ අයිතියට වැට බඳින්නට සභාපතිවරයාට තබා දෙවියන් වහන්සේටවත් අයිතියක් නැත. එය සහමුලින්ම මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබේ නම් එය විසඳිය හැකි ක්‍රමය මේකද? අවාසනාවට මහජන නියෝජිතයන් සම්බන්ධව අපට කිසියම් කියවීමක් තිබේ.

එහෙත් හේතු ඇතිව හෝ නැතිව ඉකුත් ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද ජයෙන් උද්දාමයට පත්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කුප්‍රකට 'පොල් ලෙලි' කතාව කීවේය. පොහොට්ටුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා කියමින් හෙතෙම උදම් ඇනීය. ඔහු එවක කීවේ මෙවැන්නන් ගැනද කියා දන්නේ නැත.

ඒ අර්ථයෙන් ගත් කල නම් මේ සිදුවීමෙහි අරුමයක් නැත. එහෙත් සීරුමාරුවට සැත්කම් කරමින් මිනිස්කම බෝ කළ යුතු රටක මෙවන් සැහැසිකම් අනුමත කළ හැකිද?

මේ සිදුවීමෙන් හද සංවේදී බොහෝ දෙනා ඊට එරෙහිව කතා කළහ. එහෙත් සභාපතිවරයා සිය තීන්දුවේම පිහිටා ක්‍රියාකරමින් සිටී.

මේ සභාපතිවරයා සිය වාසියට හරවා ගන්නේ

'මහ නායක හිමිවරුන් සහ කාදිනල්තුමා' කීවාය යන ප්‍රකාශයය. අප දන්නා තරමට ඒ දෙපාර්ශ්වය එසේ පවසා නැත. පවසා තිබෙනවා නම් ඒ ප්‍රකාශය දඩමීමා කරගෙන සභාපතිවරයාගේ ක්‍රියාකාරීත්වයට අනුබලය ලද කාරණය බරපතළය. අප දන්නා තරමට ඉහත කී පාර්ශ්ව වෙතින් එවන් ප්‍රකාශයක් නිකුත්ව නැති අතර වෙන්නප්පුවේ සභාපතිට පමණක් කීවාද දන්නේ නැත.

මේ අතර මෙම සිදුවීම බොහෝ මාධ්‍යවලට 'විකිණිය හැකි' දෙයක් වී නැති බවක් පෙනේ. ඒ නිසාමදෝ බොහොමයක් මාධ්‍ය එය 'නොසලකා හැර' තිබේ. ඉකුත් දිනවල කඩු කිණිසි හමුවෙන අතරේ පාවිච්චි කොට තිබූ හිස් පතරොම් කොපුවක් හමුවුණත් 'ලීඩ් ස්ටෝරි' ලෙස අදාළ සිදුවීම 'පාස් කළ' බොහෝ දෙනා මේ සිදුවීමට මුද්දරයක තරමේ ඉඩක් ලබා දී නැත.

සමහර විට ඔවුන් දැන් 'ජාතිවාදය ඇවිස්සෙන්නට පුළුවන්ය' කියා 'ආචාරධර්ම' රකිනවා විය යුතුය.

එකිනෙකා අතර 'ජාතිභේදය, ආගම්භේදය' වපුරවා සමාජය එක්ක සෙල්ලම් කිරීමේ නොහොබිනා ක්‍රියාව මෙරට දේශපාලන කල්ලි කලක සිට කරන්නකි. එකී සෙල්ලමෙහි ශේෂ සටහන්ව ඉතිරිව තිබෙන්නේ 'තිරස්චීන මතක' එකතුවකි.

පුරා දශක ගණනාවක් මුළුල්ලේ උතුර සහ දකුණ ලෙස බෙදී අපි යුද්ධයක පැටලී සිටියෙමු. ජයග්‍රහණය උදෙසා යුද්ධ කළෙමු. එහිදී ගලා ගිය රුධිරය හා ඒ සමඟ ඇද වැටුණු කඳුළු, ප්‍රාමාණිකව මෙතෙකැයි කියා කිව නොහැකිය.

"ජාතිවාදය යනු මිනිසකු විසින් තවත් මිනිසකු වෙත එල්ල කරනු ලබන බරපතළම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි." යනුවෙන් කතාවක් කී ඒබ්‍රහම්. ජේ. හෙසල්ට මල් තිබ්බත් මදිය.

මෙරට ඉතිහාසයේ අතිශය බියගුලු ජාතිවාදී ප්‍රකාශයක් අපට හමුවන්නේ 50 දශකයෙනි.

ඒ, 'අන්තිම දෙමළාගේ හමෙන් සෙරෙප්පුවක් මහන තෙක් මට නින්ද යන්නේ නැහැ යැයි' මන්ත්‍රීවරයකු කළ බව කී ප්‍රකාශයකි.

ජීවිකාවට පයින් ගසා පොළ භූමිය තහනම් කළ වෙන්නප්පුව සභාපතිගේ ක්‍රියාව දෙවැනි වන්නේ ඊට පමණි.

මාතෘකා