තර්ජන සහ වර්ජන

තර්ජන සහ වර්ජන

මීට ටික කලකට පෙර දුම්රිය රියැදුරන්ට 'පයිලට්'ලා වෙන්නට සිතිවිල්ලක් පහළ විය. තමන්ටද ගුවන් නියමුවන්ට අදාළ තනතුරු නාමය අවැසි බවට පවසමින් ඔවුහු වැඩවැරුම පටන් ගත්හ. අදාළ තනතුරු නාමය ඔවුන්ට අනුචිත බව කෙතරම් කීවද පලක් නොවිණි.

එවක ඇමැති ඊට කදිම උපායක් යෙදුවේය.

ඔහු දුම්රිය පාලන අධිකාරියට කතාකොට දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර ලබා දෙන නිවේදනය වෙනස්‌ කළේය.

'කරුණාකර සවන්දෙන්න, කොළඹ කොටුවෙන් පියාසර කරන දුම්රිය මඩකලපුවෙන් ගොඩබහිනවා ඇත.'

ඒ සමඟම කොළඹ දුම්රිය ස්‌ථාන අවට පොස්‌ටර් ඇලවුණේ 'අද සිට ගුවන් නියමුවන් සහිත දුම්රිය ගුවන්ගත කරන බව' පවසමිනි.

එතැනින් ‘පයිලට් සිහිනය’ නැවතිණි.

වතාවක් වැඩි වැටුප් ඉල්ලා වර්ජනයක් කරන මොහොතක හිටපු අමාත්‍යවරයකු වූ ෆීලික්‌ස්‌ පෙරේරා ගත් ක්‍රියාමාර්ගයක් එවක පුවත්පතක මෙලෙස පළ විය.

“වැටුප් වැඩි කරන්න කියලා දුම්රිය රියැදුරන් නැවත වතාවක්‌ වර්ජනයක්‌ ආරම්භ කළා. මම මේ හැම දුම්රිය රියැදුරෙකු‌ගෙම වැටුප් වාර්තා ගෙන්න ගත්තා. ඒ හැම රියැදුරෙක්‌ම එදා සම්පූර්ණ වැටුප රුපියල් ලක්‍ෂ එකහමාරකට වඩා ගත්තු අය. ඒත් මේ රියැදුරන් කවදාවත් තමුන්ගේ පඩි වාර්තාව තම බිරිඳට පෙන්වන්නෙ නැති බව මම හොයාගත්තා. ඒ මොකද බහුතරයක්‌ රියැදුරන්ට තමුන්ගෙ පවුල නඩත්තු කරනවා වගේම තවත් වියදම් තිබුණා. ඒ නිසා මේ අය නීත්‍යනුකූල බිරිඳට පඩි වාර්තා පෙන්නලා නැහැ.

“මම කළේ ඒ පඩි වාර්තා හැම එකක්‌ම මේ වර්ජනයට එක්‌වෙලා හිටිය රියැදුරු මහතුන්ගේ නීත්‍යනුකූල බිරින්දෑවරුන් අතට පත් කරන එක.”

වර්ජනයට එරෙහිව බිරින්දෑවරු ලෙඩ දැමූයෙන් වර්ජනය නැවතිණි.

මේ අතර සෑම සිකුරාදාවකම දුම්රිය වර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තර්ජනාංගුලිය දිගු කරයි. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැන්ම කෙරෙහි වන වැඩවර්ජන පිළිබඳව අපගේ අනුකූලතාව සහ පෙනී සිටීම ගැන තර්කයක් නැත. ඒ අයිතීන් නොලැබෙන කල වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීම සාධාරණ අයිතියකි.

ඊට අපි හිස නමමු!

එහෙත් සැලසුම්සහගතව ජන ජීවිත සමඟ සොකරි නටන වැඩ වර්ජන යනු වෘත්තීය අයිතිවාසිකම්වලට පවා නිගරු දෙන තත්ත්වයකි.

සෑම සිකුරාදාම වැඩ වර්ජන කරනවාය යන සැලසුම්සහගත තර්ජනයම වැරදිය; අශිෂ්ටය; ගෝත්‍රිකය. සතියක් පුරා දුර බැහැර රාජකාරි කරන මිනිසුන් සිය ගම්බිම්වලට යන්නට පොදිකන දිනයක ඔවුන්ගේ සිහින සහ බලාපොරොත්තු සමඟ දූ කෙළියෙහි යෙදීම තරම් අශිෂ්ට දෙයක් තවත් නැත.

ස්වකීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා සාතිශය ගෞරවාන්විත අරගල කළ අවස්ථා ඕනෑතරම් හමුවෙයි.

එහෙත් එම කීර්තිය දුම්රිය වර්ජන තුළ නැත.

මීට පෙර ගමන්වාර අතර වර්ජනය ක්‍රියාත්මක කොට මගීන් නන්නත්තාර කළ ඉතිහාසයක් ඊට තිබේ. රාත්‍රී 12ට වැඩ වර්ජනයක් තිබෙන බව පවසා රාත්‍රී 7 සිට මගීන්ව කරකවා අතෑරිය කීර්තියක් ඊට තිබේ. රෑ 12 වර්ජනය තිබෙන නිසා රෑ 7ට කඩිනමින් ගමනාන්තයට යෑමේ බලාපොරොත්තුවෙන් දුම්රියට ගොඩවෙන මගියාට සිදුවන්නේ 'පැල් රකින්නට'ය.

වැටුප් විෂමතා මුල්කරගෙන මේ අරගල ක්‍රියාත්මක වෙයි. කාලාන්තරයක සිට පැටවුණු ණය බරකුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හරහට වැටුණු රටකුත් කරපින්නාගෙන මිනිස්සු ජීවන අරගලයෙහි යෙදෙති.

එවන් තත්ත්වයක් තුළ 'මස් රාත්තල' ඉල්ලා සිටීම තරම් 'ඇපකැලිප්ටෝ' වැඩක් තවත් නැත.

එක් අතකින් පසුගිය කාලයේදී රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩි කිරීම තුළ රාජ්‍ය සේවකයාගේ ආදායම ඉහළ ගියේය. විශ්‍රාම වැටුප් සංශෝධනය හරහා විශාල වැටුප් වැඩිවීමක් සිදුවීමට නියමිතය.

සියල්ලටම වඩා රටක් ලෙස මේ ගෙවන මොහොත අසීරුය.

ඒවා තුට්ටුවකට මායිම් නොකර කරන වැඩවර්ජන මනරංජන නැත.

මාතෘකා