සහනාධාරෙත් වංගු ගසන රටක

සහනාධාරෙත් වංගු ගසන රටක

සාමාන්‍යයෙන් මේ රට අමුතු තාලේ වැඩවලට ප්‍රසිද්ධය. එම කීර්තිනාමය තවදුරටත් සහතික කරන පුවතක් පසුගියදා වාර්තා විය. ඒ ගොවීන්ට බෙදා දෙන්නට නියමිත පොහොර තොගවලට කරන මහා පරිමාණ වංචාවක් පිළිබඳවය.

ගොවීන් සඳහා ලබා දෙන පොහොර සහනාධාරය වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් බිලියන 35කට අධික වියදමක් දරයි. සහනාධාර ක්‍රමවේදය යටතේ ගොවීන්ට යූරියා, ත්‍රිත්ව සුපර් පොස්ෆේට්, මියුරේට් ඔෆ් පොටෑෂ්, සල්ෆේට් ඔෆ් ඇමෝනියා, ඩයි ඇමෝනියම් පොස්ෆේට්, කැල්සියම් ඇමෝනියම් නයිට්‍රේට්, සල්ෆේට් ඔෆ් පොටෑෂ්, සින්ක් සල්ෆේට්, කීසරයිට් සහ කොමර්ෂියල් එප්සම් සෝල්ට් යන පොහොර වර්ග 10ක් පමණක් ලබා දෙයි.

රසායනික පොහොරවලින් තොර ගොවිතැනක් ගැන සිහින අඩුක්කරගෙන සිටියදී පවා මේ සහනාධාරය ලබා දෙන්නේ වඩා සරු අස්වැන්නක් උදෙසා ‘පොහොර’ අවැසි බවට වන මතය සහ නිගමනය නිසාය.

එහෙත් අහිංසක ගොවීන් වෙත හිමිවෙන මේ සහනාධාරයටත් 'වංගු' ගසන මුග්ධ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙයි. සහනාධාර ලෙස ලැබෙන පොහොර තොග එකී සහනය තුළින් අඩු මිලට ලබාගෙන වෙනත් ව්‍යාපාර කටයුතු සිදු කරන බව එයින් හෙළිවෙයි. මෙරට තුනී ලෑලි නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් එම තුනී ලෑලි ඇලවීම සඳහා භාවිත කරන ගම් මිශ්‍රණය සකස් කර ගැනීමට මෙම සහනාධාර යටතේ ලැබෙන යූරියා පොහොර යොදාගෙන ඇතැයිද වාර්තා වෙයි. ඊට අමතරව පො‍හොර යොදාගෙන කෘෂිකාර්මික නොවන නිෂ්පාදන සිදුකරන ආයතන තුනක්ද තම නිෂ්පාදන සඳහා අවශ්‍ය පොහොර පසුගිය වසරේ මෙරටට ගෙන්වා නැතත් එම ආයතනවල නිෂ්පාදන දිගටම කරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

පොහොර නොගෙන්වා සිය නිෂ්පාදන මොවුන් විසින් සිදු කළේ කෙසේද? එය වංගුවක ප්‍රතිඵල නොවේද? සාමාන්‍යයෙන් හැකි එකා නොහැකි එකාව පාගා චප්පකොට දැමීම සිරිතකි. ආවේණික ලක්ෂණයකි. එකී ආවේණික ගතිය ඉතා මනාකොට කුළුගන්වන අවස්ථා ඕනෑතරම් අපට හමු වෙයි.

මේද එවැන්නකි.

මෙරට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබේ. ඒ එක්කම කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10,000ක් පමණද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10,000ක් පමණද සිටිති. එමතු නොව කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ කෘෂි විද්‍යාඥයන්ද බොහොමයකි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවද කෘෂිකර්මාන්තයට අදාළව කැපවුණු නිලධාරීන්ගෙන් සමන්විතය. සියලුදෙනාගේ ඇස් වසා වංචා සිදු වෙයි.

පොහොර සහනාධාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේදී රජයට රු. මිලියන 23,500ක් වැය කිරීමට සිදු වනු ඇත. මේ වනාහි විශාල ආයෝජනයකි. කෘෂි රසායන භාවිතයේදී ලක්ෂ දහඅටක් වන මෙරට ගොවි ජනතාව හුරුවී සිටියේ අධි යෙදවුම් රටාවකටය. මෙය කෘෂි රසායන දේශීය වශයෙන් අලෙවි කරන්නන්ගේද නිෂ්පාදන සමාගම්වලද ප්‍රචාරණ යාන්ත්‍රණයේ ප්‍රතිඵලයකි. පෙර තිබූ කෘෂි ව්‍යාප්ති නිලධාරියාගේ භූමිකාව වත්මනෙහි කිසිදු කෘෂි නිලධාරියකුගෙන් ඉටු නොවේ. ගොවි නියාමක නමට පමණි. මේ නිසා ගොවියා කෘෂි රසායන පිළිබඳ උපදෙස් ගන්නේ පොහොර කඩේ මුදලාලිගෙනි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ලොව කෘෂි රසායන අධිභාවිතය ඇති රටවල් අතර ලංකාව ප්‍රමුඛ තැනකට පත් වීමය. මෙය ඉතා නරක තත්ත්වයකි. මෙය නියාමනය කළ යුතුය.

කෘෂි ව්‍යාප්ති සේවය ක්‍රියාත්මක වූ සමයෙහි කෘෂි රසායන යෙදවූයේ නොයොදා බැරිම තැනය; ප්‍රාථමික පිළියම්වලින් පසුවය. දැන් ගොවිතැන පටන් ගන්නේම කෘෂි රසායනවලින් පොළොව තෙත් කිරීමෙනි. ඒ නිසා කෘෂි ව්‍යාප්ති සේවය නැවත ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය. එමෙන්ම යහපත් අරමුණකින් ආරම්භ කළ වසවිස නැති ගොවිතැන වැඩසටහන අඩාළ කර ගත යුතු නොවේ. එයද සමාන්තරව පවත්වා ගෙන යා යුතුය.

මාතෘකා