එන්න ඉන්න ජනපතිගේ දැනගැනීම පිණිසයි

එන්න ඉන්න ජනපතිගේ දැනගැනීම පිණිසයි

මේ වසරේ අවසන් කාර්තුවේ ජනාධිපතිවරණය පැවැත්වේ. ඒ උදෙසා ප්‍රධාන පක්ෂ දැන් සිටම බරතබා සැරසෙන බවක් පෙනෙන්නට තිබේ. මහජන ඡන්දයෙන් විධායක ජනාධිපතිවරු 5දෙනකු පත් කළ ඉතිහාසයක් පවතින හෙයින්දෝ මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ඉහත ජනාධිපතිවරණ කෙරෙහි වූ අවධානය යොමුව තිබේ.

77 හඳුන්වා දුන් විධායක ජනාධිපති ධුරය බෙහෙවින්ම බලසම්පන්න එකක් විය. එය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සාපේක්ෂව විශ්මයජනක බලතල සහිත ජනාධිපතිවරයකු බිහිකළ ව්‍යවස්ථාවක් විය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දුන් නවාංග අතුරින් එක් නවාංගයක් ලෙස විධායක ඡනාධිපතිධුරය හැඳින්විය හැක. 78 ව්‍යවස්ථා‍වේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධන විසින් සුවිශේෂි බලතල රාශියක් විධායක ජනපති සතු කිරීමට ක්‍රියා කරනු ලැබ ඇත. ලංකාවේ මුල්ම විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළේ “මට කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියකු කිරීමත් පිරිමියෙක් ගැහැනියක කිරීමත්”පමණක් බවයි.

“ජනාධිපතිවරයකු වන ඔහු හෝ ඇය ආණ්ඩුවේ නායකයාද, විධායකයේ ප්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනා විධායකයාද, රාජ්‍ය නායකයාද වන්නේය.” යනුවෙන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය මඟින් ‘ජනාධිපති’ යන්න අර්ථ ගන්වා ඇත.

ලංකාව උ‍දෙසා ප්‍රථම වරට ඡනාධිපති ධුරය හඳුන්වා දුන්නේ 72 ව්‍යවස්ථාව තුළින් වන නමුත් එය නාමික විධායකයකි.

නමුත් 78 ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුර්ණ බලැති විධායකයක් හඳුන්වා දෙන ලදි. විචාරකයින් පවසන ආකාරයට ලෝකයේ ව්‍යවස්ථානුකුලව බලවත්ම ජනපති ලෙස සැලකෙන්නේ 78 ව්‍යවස්ථාව මඟින් හඳුන්වා දෙනු ලැබූ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයයි.

එහෙත්,

බොහෝ දෙනාට අමතකව ඇත්තේ 2020 පත්වන ජනාධිපතිවරයා මින් පෙර සිටි මට්ටමේ ජනාධිපතිවරයකු නොවන බවය.

19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර පෙර පැවති වසර හයක ධුර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම දෙවරකට වඩා ජනාධිපති ධුරය දැරිය නොහැකිය.

2020 ජනාධිපතිවරයාට අමාත්‍ය තනතුරු දැරීමේ ඉඩක් නැත. කැබිනට්ටුවේ නායකයා ලෙස ඔහු කටයුතු කරන අතර කැබිනට් සාමාජිකයකු ලෙස ඔහුට එහි වාඩිවීමේ ඉඩකඩ පවතී. එහෙත් ඔහු අගමැතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කළ යුතු වෙයි.

ඉතිහාසයෙන් විමසා බැලූ විට පෙනෙන පරිදි විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. එහෙත් ඔහුට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් නැත.

කෙසේ වෙතත් 46 - 76 දක්වා වසර 30ක් මෙරට පැවතියේ මේ පන්නයේම විධායකයකි. 71 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට මුහුණ දුන්නේද මේ ක්‍රමය යටතේය.

එනිසා ක්‍රමය එතරම් විශේෂිත තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැත.

නමුත් අවබෝධ කරගත යුත්තේ 2020 ජනාධිපති මෙතෙක් සිටි ජනාධිපතිවරුන් තරම් බලසම්පන්නයකු නොවන බවය.

කෙසේ වෙතත් එයින් පත්වන අගමැති බලසම්පන්නද කියා ගෙනෙන තර්කයක් වෙත්නම් එයද එතරම් ප්‍රායෝගික තර්කයක් නොවේ.

සත්තකින්ම 2020න් පසු බලවත් වන්නේ කොමිෂන් සභාය.

මාතෘකා