වැරදි බෙහෙත් සහ 3(1) වගන්තිය

වැරදි බෙහෙත් සහ 3(1) වගන්තිය

බෙහෙත් තිබෙන්නේ රෝගවලට ප්‍රතිකර්ම පිණිසය. ඒ ඒ රෝගවලට අදාළ බෙහෙත් නියම කිරීම වෛද්‍යවරුන්ගේ වගකීමය. එහෙත් ඕනෑම ලෙඩකට ලබාගත හැකි බෙහෙත්ද තිබේ. ඕනෑම ලෙඩක් වූ විට පැරසිටමෝල් ගන්නා තත්ත්වයට මිනිස්සු පත්ව සිටිති. එලෙස ලබාගැනීම කළ යුත්තේ 'වෛද්‍ය උපදෙස් මත වුවද' එය නොතකා බොහෝ දෙනා බෙහෙත් ලබා ගනිති.

ඒ අතර ඕනෑම කැක්කුමකට, රිදුමකට, වනයකට, වේදනාවකට, රෝගයකට දෙන බෙහෙතක් සමහර ගොඩ වෙදුන් සතුව තිබේ. එයට කියන්නේ 'කෝකටත් තෛලය' කියාය.

නීතියේ සමහර සිදුරු හොඳට නරකට දෙකටම උචිත ලෙස යොදා ගැනීමේ යම් යම් අවස්ථා අප අත්දැක තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව ක්‍රියාත්මක වෙමින් තිබෙන අත්අඩංගුවට පත්වීම සහ නීතිමය කටයුතුද එවැනි තත්ත්වයක් ගෙන තිබේ.

මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ, "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මඟින් පිළිගැනීමක් ලබාදී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි" යනුවෙනි.

ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැනුණු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබාදීම මෙන්ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙන් බලාපොරොත්තු විය.

3 (1) වගන්තිය අනුව "කිසිම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම් නොකළ යුතුය."

එමෙන්ම 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදාහරිනු නොලැබිය යුතුය," යනුවෙන් සඳහන්ය.

එහෙත් දැන් එයින් ඉලක්ක වී ඇත්තේ කවුද?

නිර්මාණකරුවකුගේ නිදහස සම්බන්ධව වැටකඩොලු දැමීම, පැලඳ සිටින ඇඳුමක තිබෙන සලකුණක් හේතුවෙන් කුදලාගෙන යෑම යනාදී කටයුතු උදෙසා ආවරණයක් ලෙස අදාළ පනතෙහි 'හිදැස්'යොදා ගැනීම මොනතරම් අයෝග්‍යද?

2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීම්වලින් පසු මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත කළේ මෙම පනතට අදාළ සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන්ය.

කෙටිකතාවක් ලියූ ශක්තිකට එරෙහිව ක්‍රියාත්මක වී තිබෙන්නේද එම පනතට අදාළ රෙගුලාසිය.

දිගන ගිනිතබන්නට උඩගෙඩි දුන් අන්තවාදීන්ට ක්‍රියාත්මක වූ රෙගුලාසිම නිර්මාණයක් කළ කලාකරුවකුට එරෙහිව ක්‍රියාත්මකය. එවිට පැනනැඟෙන ප්‍රශ්නය ‘නිර්මාණකරණය’ යනු කුමක්ද කියන එකය. අතීතයට අදාළව නීති හැදුණොත් සැලළිහිණිය ලියූ රාහුල හිමිටත් සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමිටත් ජාතක කතා සංග්‍රහයෙන් බෝසත් චරිතය විවිධ අවස්ථාවල ‘කැතට’ ලියූ රචකයාටත් කුමක් වෙයිද?

එපමණකි.!

මාතෘකා