වැටුප් විෂමතා දුරු කිරීමේ තීන්දුව

වැටුප් විෂමතා දුරු කිරීමේ තීන්දුව

ජුලි මාසයේ පටන් රාජ්‍ය සේවකයන් සඳහා රු.2500 ක අන්තර් දීමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙය ලබා දෙන්නේ දැනට ලැබෙන රු.7800ක ජීවන වියදම් දීමනාවට අමතර වශයෙනි. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම විශ්‍රාමිකයන්ටද අදාළ වේ.

මේ වනාහි රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමේ එක් පියවරකි. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලද්දේ පසුගිය අයවැයෙනි.

මේ අනුව කාර්යාල කාර්ය සහායකගේ පටන් අමාත්‍යාංශ ලේකම් දක්වා සියලුම ස්ථරවල රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.

2015 දී රු.11730ක් වූ කාර්යාල කාර්ය සහායකයකුගේ වැටුප 2020 වන විට රු.24250 දක්වා වැඩි වේ. හෙද හෙදියන්ගේ වැටුප රු.15620 සිට රු.32525 දක්වාද උපාධිධාරී ගුරු වැටුප රු.16100 සිට රු.33300 දක්වාද අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රු.47515 සිට රු.98650 දක්වාද වැඩි කෙරෙනු ඇත.

විශ්‍රාමික දීමනාවද සැලකිය යුතු අයුරෙන් වැඩි කෙරේ. ඒ අනුව විශ්‍රාමික කාර්යාල කාර්ය සහායකයකුගේ දීමනාව රු.2800 කින් වැඩිවේ. පොලිස් සැරයන්වරයකුගේ රු.4200 කින්ද කළමනාකරණ සහකාර රු.5215 කින්ද හෙද සේවයේ රු.7100 කින්ද ගුරු සේවයේ රු.9200 කින්ද පරිපාලන සේවයේ රු.16000 කින්ද අමාත්‍යාංශ ලේකම්වරයකුගේ රු.20000 කින්ද විශ්‍රාම වැටුප් වැඩිවේ. රාජ්‍ය සේවයේ නියුතු වූවන් සහ විශ්‍රාමිකයන් සඳහා මෙවැනි වැටුප් කිරීමක් සිදුවන්නේ මුල්වරටය. එනිසා මෙය රාජ්‍ය සේවයේ කාර්යක්ෂ්මතාව නැංවීම සඳහාද වක්‍රව බලපානු නිසැකය. තෘප්තිමත් සේවයක් ලබාදීම සඳහා තෘප්තියට හේතුවන වැටුපක්ද ලැබිය යුතුය.

2015දී බලයට පත්වූ රජය මුලින් පොරොන්දු වූ පරිදිම රාජ්‍ය සේවක වැටුප රු.10000 කින් වැඩි කළේය. එබඳු වැඩිවීමක් සිදුවූයේ බොහෝ විවේචන මැද්දේය. ඊට පෙර පැවති ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම අසාමාන්‍ය අයුරින් සිදුවිය. මෙය අවශ්‍යතාවද ඉක්මවා යෑමකි. මෙයින් සිදු වූයේ රාජ්‍ය සේවක ඵලදායිතාවද පහළ බැසීමය. මෙහිදී නව රජය අභියෝග දෙකකට මුහුණ දුන්නේය. ඉන් පළමුවැන්න රටට ඔරොත්තු නොදෙන තරම් බඳවාගෙන සිටි රාජ්‍ය සේවකයන් ඵලදායි ලෙස සේවයේ යෙදවීමය. දෙවැන්න කලක් තිස්සේ පැවත එන වැටුප් විෂමතා දුරුකරලීමය. රජය මෙයට මුහුණ දුන්නේ බොහෝ අභියෝගවලට මුහුණ දෙමිනි.

තමන්ට පක්ෂපාත රාජ්‍ය සේවකයන් අඩයාළමක් කරගෙන රාජ්‍ය සේවය අඩාළ කිරීමේ උත්සාහයන් ඇතැම් බලවේග විසින් දියත් කරන ලදී. 2018 ඔක්.කුමන්ත්‍රණය නිසා රටට ලැබීමට තිබූ ඩොලර් බිලියන ගණනක් අහිමි විය. රටේ ආර්ථිකය දුබල විය. මේ නිසා අරාජික තත්ත්වයක් නිර්මාණය විය. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමට රජය සමත් විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ඊළඟට සිදූවු ඛේදවාචකයයි. 2018 වසර සංචාරකයන් වැඩිපුරම පැමිණි වසර ලෙස වාර්තාගත වී තිබිණ. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම කෙරෙහි ප්‍රහාරය බලපෑය. දැන් ඒ තත්ත්වය සමනය වෙමින් පවතී. සෙමින් හෝ ආර්ථික කළමනාකරණය යහපත් අතට හැරෙමින් පවතී.

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට වැටුප් වැඩිවීම සිසිල් වැස්සක් වන්නේ මේ සියලු කරුණු අනුවය.

මාතෘකා