ජාතීවාදී නොවීම අකුසලයක්ද?

ජාතීවාදී නොවීම අකුසලයක්ද?

ප්‍රවීණ ලේඛක කුසල් පෙරේරාට එරෙහිව ආගම්වාදය අවුස්සන බවට වූ පැමිණිල්ලක් මත 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතීන් සම්බන්ද ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත ප්‍රකාරව ක්‍රියාමාර්ග ගන්නට සූදානමක් පවතින බවට වාර්තා පළවෙමින් තිබුණි. එහෙත් මේ වන විට එම තත්වය වෙනස් වී ඇති බවත් ජනපති මැදිහත් වී එය නිරාකරණය කොට ඇති බවත් කුසල් පෙරේරා ට්විටර් පණිවුඩයකින් දක්වා තබේ. එය එසේ නම් සතුටට කරුණකි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත මෑතක සිට පොලිසිය විසින් ඇතැම් පුද්ගලයන්ට එරෙහිව භාවිත කරන්නට පටන් ගෙන තිබෙන බව දක්නට ලැබේ.

මීට මාස කිහිපයකට පෙර, ලේඛක ශක්තික සත්කුමාර අත් අඩංගුවට පත්වෙයි. කුසල් පෙරේරා අරභයා ක්‍රියාත්මක වන්නට ගියේ එහිම දිගුවක්ද?

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතුය.

මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකිය. එමතු නොව මෙම පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි අතර ඇප ලබාදීම කළ හැක්කේ සුවිශේෂ තත්ත්වයන් යටතේ මහාධිකරණය විසින් පමණි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේය.

කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදි.

කෙසේ වෙතත් කුසල් පෙරේරා අත් අඩංගුවට පත්වන වරදක් සිදු කොට තිබේ නම්, මෙරට බොහොමයක් ගුවන්විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා හා පුවත්පත් බොහොමයක්ම එකී වරදට හසුවනවාට සැක නැත.

ඉකුත් නොසන්සුන් කාල සමයෙහි මිලේච්ඡ ත්‍රස්තයින් බිහිසුණු ඝාතන සිදු කළ අතර අන්තවාදී මාධ්‍ය කිහිපයක් සමාජය ගිනිතබමින් සිටියේය. සැකය මත පදනම්ව ප්‍රවෘත්ති පළකොට පාර්ශ්වයක් වෙත වෛරයේ ගිනි පුළිඟු වීසි කළේය. නැති භීතියක් මවා පාමින් රටම අඳුරේ හෙළන්නට අවැසි වටපිටාව නිර්මාණය කළේය. ජාතිවාදී ගැටුම් ඇති කරන පන්නයේ ප්‍රකාශ සමහර මාධ්‍ය ආයතන විසින් ලොමු ඩැහැගන්වන ලෙස සමාජයට පොම්ප කරනු ලැබීය.

එහෙත්, ඊට එරෙහිව කිසිවෙක් පෙරට ආවේ නැත.

‘ජාතික නායකයන් අයාලේ යන විට ජනමාධ්‍යවේදීන් ගියේද අයාලේය.’ යනුවෙන් වික්ටර් අයිවන් සිය ‘අයාලේ යන ජනමාධ්‍ය’ කෘතියෙහි සටහන් කරයි. දැන් එය වඩාත් උග්‍ර වී සමහර ජනතාවද ඒ 'අයාලේ යෑම' සිදුකරමින් සිටී.

කෙසේ වෙතත්, අපි අදහන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සුරක්ෂිත කිරීමත්, ඒ වෙනුවෙන් කැපවීමත් මේ මොහොතේ වඩාත් ගරුකටයුතු වෑයමය.

මාතෘකා