අනතුරට අත වැනීම

අනතුරට අත වැනීම

දිනකට අසන්නට ලැබෙන අනතුරු ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා විනා අඩු වීමක් දකින්නට නොලැබේ. තරගකාරී ජීවන රටාවෙන් ඔද්දල් වූ මිනිස්සු ජීවත්වීම උදෙසා කරන හැල්මේ දිවයෑම කෙළවර වන්නේ නොසිතූ උපද්‍රවයන් ජීවිතවලට සේන්දු කරමිනි.

අඟුලානේ සිදු වූ දුම්රිය ඛේදවාචකය සමඟ ලැබෙන ප්‍රවෘත්තිය ජීවිත හතරක ඉරණම අවාසනාවන්ත ලෙස මරණයෙන් විසඳීම පිළිබඳවය.

එක්කෝ සිතාමතා, නොඑසේනම් නොසිතාම අනතුරු ළඟට යන හෝ අනතුර ළඟට කිට්ටු කරගන්නා 'සමහරු'වෙත්. අවාසනාවන්ත පුවත්වලටත් ඛේදවාචකවලටත් පාර කපන්නේ එවැනි සිදුවීම්ය.

මේ වනාහි ලෝක ධනේශ්වරයේ තුන්වන කාර්තුව වුවද ජන ජීවිත පවතින්නේ තවමත් 'අවදානම' සහ පීඩාව ගොනු කොටගත් පැවැත්මකය. ශ්‍රී ලංකාවේ ඵලදායී වයස්‌ සීමාව තුළ (අවුරුදු 15 - 44) සිදු වන මරණවලට ප්‍රධාන හේතුව වන්නේ හදිසි අනතුරු බව වරක් පොලිස් හදිසි අනතුරු ඒකකය පැවසීය.

මිචිගන් විශ්වවිද්‍යාලයයේ ප්‍රවාහන පර්යේෂණ ඒකකය පසුගියදා ලොව භයානකම මාර්ග අනතුරු සිදු වන රාජ්‍ය ගැන සමීක්‍ෂණයක්‌ කළේය. ඊට අනුව සෑම තත්පර 25කටම වරක්‌ මාර්ග අනතුරක්‌ නිසා ලොව එක්‌ මිනිසෙක්‌ මියයයි. එරිත්‍රියාව ලොව වැඩිම මාර්ග අනතුරු පෙන්වන රට වන අතර එරිත්‍රියාවේ සෑම පුද්ගලයන් 1,00,000කටම (වාර්ෂිකව) 50කට ආසන්න සංඛ්‍යාවක්‌ මාර්ග අනතුරුවලින් මිය යති. ලිබියාවේ ඒ අගය පුද්ගලයන් 1,00,000කට 37ක් වන අතර තායිලන්තයේ මේ අගය 36.2කි. මොසැම්බික්‌හි 31කි. රුවන්ඩාවේ 32කි. ටෝගෝහි 31කි. ස්‌වාසිලන්තයේ 24කි. අපේ ලංකාවේ 17.4කි. ස්‌විට්‌සර්ලන්තයේ 3.3කි. ස්‌වීඩනයේ 2.8කි. සමීක්ෂණ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ යුරෝපීය රටවල මාර්ග අනතුරු අවම බවත් ආසියාතික හා අප්‍රිකානු රටවල එය ඉහළ බවත්ය.

අනතුරු නිසා දළ වශයෙන් සෑම වසරකම ලාංකිකයන් 10,000ක පමණ පිරිසකගේ ජීවිත අප රටට අහිමි වේ. නොදැනුවත්ව සිදු වන අනතුරු අතර මාර්ග අනතුරු ප්‍රධාන ස්‌ථානයක්‌ ගන්නා අතර ඒ හේතුවෙන් වසරකට ජීවිත 3000 - 3500ක්‌ පමණ අහිමි වේ.

උදෑසන රැකියා කරා හැල්මේ දුවන මිනිස්සු සන්ධ්‍යාවේ උදෑසනටත් වඩා හැල්මේ දුවනුයේ නිවෙස් කරා එනු පිණිසය. බොහෝදෙනාගේ ප්‍රවාහන පහසුකම රැඳී තිබෙනුයේ බස් සහ දුම්රිය සේවය මතය.

පනහක් හැටක් පැටවිය හැකි බසයක සීයක් හෝ හැකිනම් එකසිය පනහක් හෝ පැටවීම සාමාන්‍ය ක්‍රමවේදයය. 'පාපුවරුවේ යන්නේ වඳුරන්ය' කියා ස්ටිකර් ඇලවූ බස්වලම විස්සක් තිහක් පාපුවරුවේ පටවාගෙන යෑමට තරම් 'මහා කරුණාවක්' බස්වලට තිබේ.

බොහොමයක් අනතුරු සමීප කරගන්නේ හිතාමතාමය.

ජීවිතයක වටිනාකම පිළිබඳව වගක් නොමැතිව ජීවිතය සෙල්ලමකට ගැනීම මේ ඛේදවාචකවලට අත වැනීමකි. මනුස්ස ජීවිතය ගැන මීට වඩා සිහිනුවණින් කටයුතු කිරීමෙහි වැදගත්කම මේ අනතුරුවලින්ම තේරුම් ගැනීම වටී.

පිළිතුරු දීමේ අයිතිය

පුවත්පතෙහි පළ වූ ප්‍රවෘත්තියකින් චෝදනාවට හෝ විවේචනයට ලක් වන පාර්ශ්වයකට, ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඒ සඳහා සාධාරණ ඉඩක් ලබා දීම අපගේ වගකීමක් කොට සලකමු.

ජනමාධ්‍ය ආචාරධර්ම

රැස කර්තෘ මණ්ඩලය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ප්‍රකාශිත ආචාරධර්ම පද්ධතිය හා බැඳී සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියාමනය පිළිගනී.

ආචාරධර්ම කඩ වූ හෝ, පිළිතුරු අයිතිය ලබාදීම සම්බන්ධයෙන් සෑහීමට පත් විය නොහැකි වූ අවස්ථාවලදී පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම,

96, කිරුළ පාර, කොළඹ 5.

දුරකථන - 5353635, 4500155 - ෆැක්ස් 5335500

ඊමේල්- [email protected]

මාතෘකා