රහස් පාර්ශ්ව සහ නවක වදය

රහස් පාර්ශ්ව සහ නවක වදය

නවකවදය කෙතරම් උග්‍ර ව්‍යසනයක් බවට පත්ව ඇත්ද යන්න නැවත කතාබහට ලක් වන්නේ පසුගියදා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කළ ප්‍රකාශයත් සමඟය. මාධ්‍ය හමුවක් පවත්වා හෙතෙම අවධාරණය කරන්නේ 'රුහුණු විශ්වවිද්‍යාලය' වදකාගාරයක තත්ත්වයේ පවතින බවය.

උපකුලපතිවරයා ප්‍රසිද්ධියේ කී කතාව තුළින් කුළුගැන්වෙන්නේ රුහුණු සරසවියේ පවත්නා ඛේදවාචකයයි. දශක ගණනාවක් තිස්සේ අතිශය අමානුෂික ලෙස අඛණ්ඩව පවතින ක්‍රියාදාමයක් ලෙස නවකවදය හැඳින්විය හැක. කෙසේ වෙතත් සරසවි කිහිපයක් මේ තත්ත්වය බැහැර කරන ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එවන් තත්ත්වයක් තුළ රුහුණ පිළිබඳව අසන්නට ලැබෙන කතාව සෝචනීයය.

සරසවි පද්ධතිය භාවනානුයෝගී ආරාම නොවන බවත් එසේ නොවිය යුතු බවත් අපි විශ්වාස කරමු. සමාජ දැක්මක් සහිත, වගකිවයුතු තරුණ ප්‍රජාවක් ඒවායෙහි සිටිති. එබැවින් පාසල්, දහම් පාසල් පාලනය කරන අයුරින් සරසවි පාලනය කළ යුතු නොවේ.

එහෙත් ඒවා සමහරක් යක්ෂයන් ගැවසෙන තැන් වීමත් නූතනත්වය වෙනුවට අතීතයේ යල්පැනගිය ක්‍රියාකාරකම්වලින් මිදුණු තැන් නොවීමත් හේතුකොටගෙන අවාසනාවන්ත තත්ත්වයට පත්ව තිබේ.

මුල් කාලයේදී විශ්වවිද්‍යාල තුළ දක්නට නොලැබුණු නවක වදය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව විශ්වවිද්‍යාල තුළට පැමිණියේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සඳහා පැමිණි හමුදා සොල්දාදුවන් හරහාය. විශ්වවිද්‍යාලවලවලින් සොල්දාදුවන් නික්ම ගොස් බොහෝ කලක් ගත වුවද තාමත් නවකවදය ඉතිරිව තිබේ. 1974 වසරේදී එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වූ කැලණිය විශ්වවිද්‍යාලයේදී ගණිත පුහුණු ගුරුවරියන් කිහිපදෙනකුට නවකවදය ලබා දීම වාර්තා වීමත් සමඟ මේ පිළිබඳව අවධානය යොමු විය. එහි කරුණු සොයා බැලීම සඳහා එවකට අගමැතිනිය විසින් වී. ඩබ්ලිව්. කුලරත්න කොමිසම පත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන් දොළොස් දෙනකු සරසවියෙන් නෙරපා හරිනු ලැබීය. පරිපාලන නිලධාරී සිව් දෙනකුට දඬුවම්ද නියම විය. නවකවදයට එරෙහිව ගත් ප්‍රථම බලවත් පියවර එයයි.

පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම විද්‍යා පීඨයට ඇතුළු වූ රූපා රත්නශීලි සිසුවිය උඩු මහලෙන් බිමට පැන සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූයේ නවකවදය ඉවසාගත නොහැකිවය. එය සිදුවූයේ 1975 වර්ෂයේදීය. 1993දී අඟුණුකොළපැලැස්‌ස කෘෂිවිද්‍යා පීඨයේ තවත් අවාසනාවන්ත සිද්ධියකින් නිරෝෂණ සිසුවාගේ මරණයද නවකවදය නිසා සිදුවිය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ නවක සිසු වරප්‍රකාශ්, අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ තුෂාර කැලුම්, සබරගමු විශ්වවිද්‍යාලයට තේරී පත්වූ අමාලි චතුරිකා වැනි විශාල පිරිසක් නවකවදයෙන් පීඩා විඳ ජීවිතය නැතිකර ගත්හ.

වරක් නවක වදයට එරෙහි වීමට කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ සමන්ත විතානගේ නවක වදයට එරෙහිව පැවැත්වූ කතිකාවතක් අතුරතුර 2002 වසරේදී මරණයට පත් කරනු ලැබීය.

නවකවදය මැඬලීම සඳහා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත ගෙන ඒම නවක වදයට එරෙහි ඉතා සාධනීය පියවරක් විය.

"අධ්‍යාපන ආයතනවලින් නවකවදය සහ වෙනත් ස්‌වරූපයේ සාහසික ක්‍රියාද කෲර, අමානුෂික සහ නින්දිත සැලකීම්ද තුරන් කිරීම සඳහා වූ පනතකි." යනුවෙන් එහි පූර්විකාවේ වෙයි.

නවක වදය දෙනු ලබන පාර්ශ්ව ගැන චෝදනා බොහෝය. එහෙත් ඒ පාර්ශව පවා කියන්නේ තමන්ද නවක වදයට එරෙහි බවය.

එහෙත් තවමත් නවකවදය 'යහතිනි'.

මාතෘකා