ලොකු අයියාගේ භූමිකාව

ලොකු අයියාගේ භූමිකාව

ශිෂ්ටාචාර රැසක ආරම්භය සිදුවූයේ ඉන්දියානු උප මහාද්වීපයේය. ඉන්දියාව ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල යැයි ආචාර්ය ඒ. එල්. බෂාම් 'අසිරිමත් ඉන්දියාව' නම් සිය සුප්‍රකට කෘතියෙහි ලියා තිබේ.

එමෙන්ම කලක් තිස්සේ අත්ලාන්තික් සාගරයට අයත්ව තිබූ ලෝක වැදගත්කම පසුව පැසිෆික් සාගරය වෙතට යොමුවී මේ වන විට ඉන්දියානු සාගරය වෙතට නැඹුරු වී තිබේ. ඒ අනුව මේ කාර්තුවේ ලෝක ආධිපත්‍ය දරන සාගර කලාපය ඉන්දියන් සාගර කලාපයයි.

එහි බලවත් කාර්යභාරයක් සහ හිමිකාරිත්වයක් දරන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රීය රාජ්‍යය ලෙස සැලකෙයි. තීරණාත්මක භූ කලාපයක් සේම සන්ධිස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවද කුඩා කොදෙව්වක් වුවද අතිශය වැදගත් රාජ්‍යයකි.

කිකලකවත් කිසි ලෙසකින්වත් වෙන් කළ නොහැකි සබඳතාවක් මේ දෙරට අතරෙහි වෙයි.

ක්‍රි.පූ. 3 වැනි ශත වර්ෂයේදී මෞර්ය වංශික, බලසම්පන්න අශෝක අධිරාජයා සමඟ පවා ශ්‍රී ලංකාව සබඳතා පවත්වා තිබෙන බවට විශ්වාස පවතී. එනයින් ගත් කල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ සියවස් ගණනාවක් තිස්සේ ඈතට දිව ගිය සබඳතාවකි.

පසුගියදා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝදි සිය දෙවන ධුර කාලයේ පළමු සංචාරය ලෙස තෝරා ගත්තේ ශ්‍රී ලංකාවය. 2014 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි එතැන් සිට මේ දක්වා තෙවරක්

ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇත.

දෙරට අතරෙහි ඉතිහාසගත සබඳතාවලින් ඇතැම් අවස්ථාවල ආක්‍රමණික සබඳතාත් තවත් අවස්ථාවල සංක්‍රමණික සහ හිතමිතුරු සබඳතාත් දැකිය හැකි විය. අශෝක වැනි බලවත් පාලකයකු ශ්‍රී ලංකාව සුවිශේෂ හැරවුමක් සඳහා යොමු කරන හිත මිතුරු සබඳතාවක් පැවැත්වූ අතර චෝල, පාණ්ඩ්‍ය වැනි පාලකයෝ ආක්‍රමණිකයන් ලෙස සබඳතා පැවැත්වූහ.

ඒ ඉතිහාසයයි.

පිහිටීම, ස්වභාවය, බලය යනාදී සියලු කාරණා සැලකිල්ලට ගත් විට මේ ‍ෙදරට අතර වෙන් කළ නොහැකි දේශපාලන සබඳතාවක් වෙයි.

මේ මොහොත වන විට ඉන්දියාව සහ චීනය අතර සීතල අරගලයක් තිබේ. 'බලවතා' තීරණය කිරීමේ අරගලයක් ලෙස එය සැලකේ. මෙම අරගලය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම අතිශයින් වැදගත්ය. එවන් අවස්ථාවක වඩාත් උපක්‍රමශීලී සහ ප්‍රශස්ත විදේශ සබඳතාවක වැදගත්කම ශ්‍රී ලංකාවට තිබීම අවශ්‍යයෙන්ම වැදගත්ය.

ලෝක මට්ටමින් බලන විට ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රමාණය අතින් හතරවැනි ස්ථානය ලැබෙන්නේ ඉන්දියාවටය. අනෙක් අතට මෙරටට කිසියම් ආපදාවකදී ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ආසන්නම රට ඉන්දියාවය.

කෙසේ වෙතත් තිස් වසරක යුද ජයග්‍රහණයෙන් පසු සමයෙහි මෙරටෙහි පැවති 'නොහික්මුණු' විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ඉන්දියාව ප්‍රසාදයකින් පසු නොවූ අතර දුරස්ව පැවති සබඳතා යළි ලියලන්නට පටන් ගත්තේ 2015න් පසුවය.

සිය දෙවන ධුර කාලයේදී මෝදි ලංකාවට එන විට විපක්ෂය නොයෙක් ආඩපාලි කී අතර ඇතැම්හු රට පුරා කළු කොඩි දමන්නටද යෝජනා කළහ.

එහෙත් එකී විවේචකයන්ගේ නායකයෝ මෝදි හමුවන්නට ගිය විට ඔවුහු දොහොත් මුදුනින් ඊට ප්‍රසශංසා කළහ.

යම් යම් අවස්ථාවල දෙරට අතර අඳුරු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාස කතා හමුවන අතර වර්තමානයෙහි පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් සමීප හිතමිතුරු සබඳතාවකි. චීන - ඉන්දීය සීතල යුද්ධයෙන් වාසිදායක ප්‍රතිඵල අත්පත් කරගැනීම උදෙසා කටයුතු කරනු විනා මේ සබඳතා කෙරෙහි ඊර්ෂ්‍යා පරවශව කටයුතු කිරීම කිසිසේත්ම තරම් නොවේ.

මාතෘකා