වසර අවසාන මහා මැතිවරණ සේල්?

වසර අවසාන මහා මැතිවරණ සේල්?

මේ වසර මැතිවරණ වසරක් වියහැකි බව වසර ආම්භයේදීම අපි සඳහන් කළෙමු. ඒ අනුව මේ වසර අවසානයේදී ප්‍රධාන පෙළේ මැතිවරණයක් හෝ දෙකක් අනිවාර්යය. එය මැතිවරණ තුනක් වීමටත් පිළිවන.

මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා පවසන්නේ ඕනෑම මැතිවරණයකට සූදානම් බවය. මැතිවරණ කල්දැමීමත් ත්‍රස්තවාදී පන්නයේ වැඩක් බව ඔහු පවසයි.

රටක ස්ථාවර පැවැත්ම උදෙසා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යය. වඩාත් සිත්ගන්නාසුලු සහ වඩාත් හිතකරයැයි වටහාගත් එජාප-ශ්‍රීලනිප දෙපක්ෂය යහපාලන ආණ්ඩුව හඳුන්වාදුන් අතර එය නවමු අත්දැකීමක් වූවා සේම අභියෝගාත්මක කටයුත්තක්ද විය. සහජීවන සංකල්පය මත පිහිටා කටයුතු කිරීම ශ්‍රීලංකාව වැනි කොදෙව් මානසිකත්වයක් නඩත්තු කරන රටකට තව වසර විස්සකට තිහකටවත් කළ නොහැකි බවට සමහර කරුණු තුළින් ඔප්පු කොට තිබේ. බලලෝභී මානසිකත්වය, තනතුරු සහ වරප්‍රසාද පිළිබඳව පවත්නා ගතානුගතික සහ මාන්නක්කාර චින්තනය 'සංහිඳියාව' යථාර්ථයක් කරගැනීම හුදෙක් සිහිනයක් බවට පත්කොට තිබේ.

එහෙත් තවදුරටත් අපේක්ෂාසහගතව සිටින මිනිසුන් සිහින දකිනුයේ එකී යථාර්ථය සඵල වෙතැයි කියාය.

නිදහසින් පසු මේ රට විවිධ කාල වකවානුවලදී තෝරාගත් යම් යම් වැරදි දේශපාලන උප්පරවැට්ටි නිසා අගාධයට වැටුණු අවස්ථා එමටය. අවස්ථාවාදී දේශපාලන බලලෝභීත්වය හේතුවෙන් බොහෝ කුමන්ත්‍රණ සහ පෙරළිවලට මේ රට පත්ව ඇත.

මේ රට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ දිනට පසු දින ලන්ඩන් ටයිම්ස් පුවත්පතේ අපූරු කතුවැකියක් ලියැවී තිබිණි. “සෙලෝන්” හෙවත් ශ්‍රී ලංකාව මූලෝපායික පිහිටීම අතින් සුවිශේෂ බවත් මානව මෙන්ම ස්වාභාවික සම්පත්වලින් පරිපූර්ණ බවත් එහි සටහන්ව තිබිණි. ඒ හේතුවෙන්ම නොබෝ කලකින් පෙරදිග ස්විට්සර්ලන්තය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව එම කතුවැකියේ සටහන්ව තිබිණි.

සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ ලී ක්වාන් යූ කියා සිටියේ තම අභිප්‍රාය වන්නේ ප්‍රථම වසර 5 ඇතුළත ලංකාවේ වර්ධන වේගය අභිභවා යන බවය.

එවන් තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව මෙවන් ව්‍යසනකාරී අගාධයකට වැටෙන්නේ කාගේ වරදින්ද?

මේ රටේ බොහෝ දෙනෙක් ප්‍රියකරන්නේ ජනප්‍රියවාදී වැඩවලටය. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව කන්නදැයි අසන පිරිස් බොහෝ වෙති.

මාධ්‍ය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආදිය ස්වාධීන කිරීමත් ජනමාධ්‍ය ආණ්ඩුවේ අතපෙවීම්වලින් නිදහස් කිරීම යනාදියත් තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒමත් පසුගිය වකවානුවේ රටක් ලෙස ලද ජයග්‍රහණයන්ය. නමුත් ඒවා මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග තරම් ජනප්‍රිය නැත.

ගෙවුණු කෙටි ආණ්ඩු සමය තුළ ආණ්ඩුව දින කිහිපයක් හැරුණුකොට සෙසු සියලු දිනයක්ම ගෙවා දැම්මේ අවිනිශ්චිතතාව මුල්කරගෙනය. දෙමඟක ගිය කණ්ඩායම් දෙකක් එකට එක්ව ආණ්ඩු කිරීමේ 'ආගන්තුක දුෂ්කර ක්‍රියාව' මොනතරම් අපහසු ප්‍රාතිහාර්යයක්ද යන්න අනේක වාරයක් ඔප්පු වී තිබේ.

විශ්වාසභංග කිහිපයකුත් අමාත්‍යවරු අස්වීම් සහ අස්කිරීම් කිහිපයකුත් පක්ෂ මාරු රැසකුත් අවසානයේදී අනපේක්ෂිත මොහොතක ආණ්ඩු මාරුවකුත් නැවත දින 52කින් ඒ පරණ ආණ්ඩුවකුත් රටට හිමිවිය. මෙවන් බොහෝ අලකලංචි මැද සිදුවූ අනපේක්ෂිත ව්‍යාකූලතාද බොහෝ විය. ඒ අතර සමීපතම ව්‍යසනය 'පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය'යි.

මේ සියලු තත්ත්වයන් අතර සුපුරුදු දේශපාලන බලලෝභීත්වය කෙළවරක් නැතිව දිය යට තෙරපාගෙන සිටින රබර් බෝලයක් සේ මතුවෙමින් තිබේ.

මැතිවරණ කිහිපයක් ආසන්න වන්නේ එවන් පසුබිමකය.

මාතෘකා