කන්න වස ඉල්ලන රටක්

කන්න වස ඉල්ලන රටක්

මුං වැපුරුවොත් මුං ලැබෙන බවටත් වී වැපුරුවොත් වී ලැබෙන බවටත් තල වැපිරුවොත් තල ලැබෙන බවටත් කතාවක් තිබෙන නමුත් දැන් දැන් කුමක් වැපුරුවත් ලැබෙන්නේ 'වස අස්වැන්නකි'. එය එක් අතකින් විස්මයට හේතුවන කතාවක් වුවද සත්‍ය එයමය.

ඒ තරමට අපි රටක් ලෙස වසට පෙම් බැඳ සිටිමු.

කෘෂිකර්මාන්තය සහ පෝෂණයෙන් අනූන ආහාර රටාව අතින් ගත් කල ලංකාව මුළු ලෝකයම විශ්මයට පත් කළ ඉතිහාසයක උරුමය සහිත රටකි. නමුත් වර්තමානය එකී උරුමය කරුමයක් බවට පත්ව ගිය රටකි. 1960 දශකයේ පටන් අපේ රටේ ක්‍රියාත්මක කෙරුණු ‘හරිත විප්ලවය' මෙරට කෘෂිකර්මාන්තයත් ආහාර රටාවත් උඩු යටිකුරු කොට දැමීය.

වසර 59ක ඈවෑමෙන් ශේෂව පවතින්නේ වසරකට රසායනික පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් සහ කෘමිනාශක ටොන් 5000ක් මහ පො‍ළොවට කවන රටකි.

2014/2015 මහ කන්නයේ දත්තවලට අනුව වී වගා කළ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 7,72,626ක් වන අතර එයින් 63.7%ක් රසායනික පොහොර පමණක් භාවිත කර වගා කර ඇති අතර 35.3%ක් රසායනික සහ ස්වභාවික පොහොර යන දෙකම භාවිත කර වගා කර ඇත.

එදා ගංඟා නිම්න ශිෂ්ටාචාරයත් සමඟ බිහිවුණු කෘෂිකර්මය අද වන විට සහමුලින්ම වෙනස්ය. ලෝකයම උග්‍ර ආහාර අර්බුදයක ගිලී සිටින අතර බොහොමයක් රටවල් බලසම්පන්න බහුජාතික සමාගම්වල කුරිරු උගුලට වැටී සිටින්නේ බාඳුරා මල්ගොමුවක හිරවුණු කුහුඹුවන් ගානටය.

ශ්‍රී ලංකාව අරබයා අනුගමනය කොට තිබෙන තත්ත්වයද එසේමය.

'හරිත විප්ලවය' සිදුකොට තිබෙන බරපතල විපර්යාසය එයයි.

පස තරම් අරුම පුදුම 'ජීවයක්' ලොව තවත් නැත. ගහකොළද සතා සීපාවාද මිනිසාද ඇතුළු සියලු ප්‍රාණීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ පො‍ෙළව මතය. පො‍ෙළාවෙහි ජීව ගුණය සකසා ගන්නේද 'පො‍ෙළාව' විසින්මය. තමන් පෝෂණය කරන්නැයි පොළව කිසි විටෙක ඉල්ලා සිටින්නේ නැත. තුමූම එය රිසි පරිදි කර ගනියි. එය කාලානුරූපී අනවරත ක්‍රියාවලියකි.

එහෙත් එකී ක්‍රියාවලිය 'හරිත විප්ලවයෙන්' පසුව කුඩු සංකායම් වී තිබේ.

තුල්‍යතාවෙන් යුතු ජීවී ක්‍රියාවලිය නව්‍යකරණයට ලක්ව සහමුලින්ම රසායනික විපර්යාසයකින් පොළොව හෙම්බත්කොට ඇත.

ශ්‍රී ලංකාව තරම් පාරම්පරික ධාන්‍ය තිබූ තවත් රටක් නැති තරම්ය. ජපානය වැනි රටවල් මෙරට තිබූ දේශීය වී වර්ග ප්‍රමාණය පිළිබඳව විස්මයට පත් වූ අවස්ථා එමටය. 4000ට වැඩි පාරම්පරික වී වර්ග නවීන ගොවිතැන ප්‍රචලිත වීමත් සමඟ 'ඇහැ' වෙන්නට පටන් ගත්තේය.

දිනපතා පරිභෝජනය කරන ආහාර හේතුවෙන් ලොව පුරා මිලියන 11ක පිරිසක් අකාලයේ මිය යන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ලොව පුරා සෑම හත් දෙනකුගෙන්ම එක්‌ අයකු නින්දට යනුයේ කුසගින්නෙන් වන අතර ආහාර නොමැති වීමෙන් දිනකට මිය යන අවුරුදු 05ට අඩු දරුවන් සංඛ්‍යාව 20,000ට වැඩිය. එමෙන්ම ලෝකයේ නිරාහාරව සිටින සංඛ්‍යාව 2015 වසර වනතුරු ක්‍රමයෙන් අඩු වුවද 2016දී එය නැවත මිලියන 38කට වැඩි ප්‍රමාණයකින් වැඩි වී ඇත.

එකී ඉරණම මෙරටටද දායාද ලෙස ලැබී ඇත. සෙම්ප්‍රතිශ්‍යාව තරමටම ඉහවහා ගිය පිළිකා රෝගීන්ද ලොව අංක එකේ ඝාතකයා වන හෘදයාබාධද තවත් අටෝරාසියක් පිරිපත රෝගද අපට උරුමව ඇත්තේ අප කන 'වස ආහාර' නිසාය. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ අතුරින් 65%කට හේතුව බෝ නොවන රෝග බවට පෙන්වා දී ඇත. පිළිකා, හෘද රෝග, දියවැඩියාව යනාදිය ගැනෙනුයේ ඒ කුලකයටය. වසවිසෙන් තොර ගොවිතැනක් කෙරෙහි මෙරට ආණ්ඩු සිය අවධානය යොමු කරන්නේ ඒ අතරතුරය. එහෙත් ඉරාණයේ පරමාණු ලෙස ඉවත් කරන දෑ යොදාගෙන නිපදවන රසායනික පොහොර ‘සහනාධාර ලෙස’ තවදුරටත් අවැසි යැයි බොහෝ ගොවීහු ඉල්ලා සිටිති. සමහරවිට එහෙම ඉල්ලන ගෙදරම එක්කෝ පිළිකා රෝගියෙකි. එක්කෝ වකුගඩු රෝගියෙකි. මේ පිරිපත රෝග පිටුපස සිටින ප්‍රධාන සතුරා රසායනික පොහොර බව ඔවුහු මායිම් නොකරති.

පාරම්පරික ගොවිතැනත් හරිත විප්ලවයෙන් පසුව ආ නවීන ගොවිතැනත් අතර මංමුලා වූ මෙරට ගොවියාට අත් වූයේ 'සිංහලේ ගිය ජිනදාසට' අත්වූ ඉරණමය. ඒ ඉරණම සොයන්න ‘ගම්පෙරළිය’ කියවිය යුතු නැත. ගොවියකුගේ නිවසකට ගොඩවීමම ප්‍රමාණවත්ය.

මාතෘකා